උස්බෙකිස්තානය හමුවේ ලාංකිකයන් ජවය පෙන්වයි

1929

දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම අද (04) උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ අතර එහි දී වට 3-2ක් වශයෙන් තියුණු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. පළමු වට දෙක පරාජය වුවත් පසුපසින් හඹාවිත් තරගය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ හැකියාව මෙහි දී කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ පරාජය වේ

2 වන ආසියානු අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා..

තරගය පැවැත්වුණේ ආසියානු 23න් පහළ ශූරතාවලියේ 9 වැනි ස්ථානයේ පසු වූ උස්බෙකිස්තානයත්, 11 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාවත් අතරයි. පෙර පැවති තරගවල දී ජපානය හමුවේ වට 3-0ක් වශයෙන් සහ තායිලන්තය හමුවේ වට 3-1ක් වශයෙන් පරාජය වී සිටි ශ්‍රී ලංකාවට අද ලබා ගත් ජය මහත් අස්වැසිල්ලක් විය.

කණ්ඩායමක් වශයෙන් හොඳින් ක්‍රීඩා කළත් අනෙකුත් කණ්ඩායම්වල ප්‍රබලත්වය හමුවේ පසු බසින්නට සිදු වූ ශ්‍රී ලංකා 23න් පහළ යෞවනයන්ට මේ තරගයේ දී ද එල්ල වූයේ දැඩි අභියෝගයකි. උසින් සහ ශක්තියෙන් වැඩි උස්බෙකිස්තාන කණ්ඩායම හමුවේ තරගයේ පළමු වටය 25-20ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

දෙවන වටයට කිසිසේත්ම අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉඩ නොතැබූ උස්බෙකිස්තාන ක්‍රීඩකයන් එය 25-16ක් ලෙස ජය ගත් අතර  බොහෝ දෙනාගේ මතය වූයේ ශ්‍රී ලංකාව තරගයෙන් පසුබැසී ඇති බවයි. එනමුත් සාර්ථකව තෙවන වටයට අවතීර්ණ වෙමින් එය 24-26ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර සිව්වන වටයට ද හොඳින් අවතීර්ණ වෙමින් එය 26-28ක් ලෙස ජය ගන්නට ඔවුන් සමත් විය.

පස්වැනි සහ අවසන් වටය තුළ දී  කරට කර තරගයක් දැකිය හැකි වුවත් එහි දී  උස්බෙකිස්තානය අභිබවා යමින් ලකුණු 14-16ක් ලෙස ජය ලබා ගත් ශ්‍රී ලංකාව, සමස්ත තරගය ද ජය ගත්තේය.

අද දිනය තුළ තවත් තරග 4ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාවයි. එම තරගය හෙට (05) වැනිදා පැවැත්වේ.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට