ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ පස්වරුවේ නම් කර තිබේ. ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර සැප්තැම්බර් 2 සහ 3 යන දිනවලදී පැවැත්වෙන්නේ හොංකොං හීදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පසුගිය ලිපි: 16න් පහළ මයිලෝ කිරුළ ශා.පීතරයන්ට

අදියර 3කින් සමන්විත මෙවර තරගමාලාවේ දෙවන අදියර සැප්තැම්බර් 24 සහ 25 දිනවල දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර 3වන සහ අවසන් අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේදී යි.

පලමු අදියර සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය පැවරී තිබෙන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙන් ශ්‍රී ලංකා රග්බි පිටියට දායාද වූ විශිෂ්ට ක්‍රීඩකයකු වන ධනුෂ්ක රංජන් හටයි. ශ්‍රී ලංකා ප්‍රධාන රග්බි කණ්ඩායමේ මෙන්ම සත් සාමාජික කණ්ඩායමේද නායකයා ලෙස කටයුතු කරන සුදර්ශන මුතුතන්ත්‍රී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනුෂ්ක හට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වගකීම පැවරී ඇත. ආසියානු කලාපයේ කණ්ඩායම් බොහොමයක් ඔහුව හඳුනන්නේ ශක්තිමත් ලෙස පන්දුව රැගෙන ධාවනයේ යෙදිය හැකි ක්‍රීඩකයෙක් ලෙසයි. කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ධනුෂ්ක මෙවර තරග වාරය සඳහා ලීග් රග්බි ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජය සමග එක්වීම හේතුවෙන් පසුගිය දිනවලදී බොහෝදෙනාගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි.

නව නායකයාගේ පත්කිරීම පිලිබඳව ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා පවසා සිටියේ ” ඔහු මේ වනවිට මෙරට සිටින වඩාත්ම ගෞරවයට පාත්‍රවූ ක්‍රීඩකයෙක් බව මෙරට පමණක් නොව ආසියානු කලාපයේම ප්‍රසිද්ධ කරුණක්. ඉතින් ඔහු නායකත්වයට පත් කිරීම පිලිබඳ කිසිදු ගැටළුවක් නැහැ”.

ධනුෂ්ක රංජන් මෙන්ම ශාන්ත පීතර විද්‍යාලයෙන් බිහිවී පසුගිය තරග වාරයේ ඔහු සමග හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩා කළ දුලාජ් පෙරේරා කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ දණහිසේ ඇතිවූ ආබාධයකින් සුවය ලබා නැවත කණ්ඩායමට එක් වීමත් සමගයි. දුලාජ් පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේදී මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාම සඳහා මහඟු සේවයක් ඉටු කර ක්‍රීඩකයෙකු ලෙස දැක්විය හැකිය.

කණ්ඩායමේ නවකයින්

ආසියානු සත් සාමාජික ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන් සහ ඔහුගේ උප නායක ඔමල්ක ගුණරත්න පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබෙන්නේ 20න් පහල ආසියානු තරගාවලියේ ඔවුන් දැක්වූ විශිෂ්ට දස්කම් පදනම් කර ගෙනයි. ආදී ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින් වන සශාන් මොහොමඩ් සහ තරින්ද රත්වත්ත ද පළමු වරට ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම සමග එක්වීමට සුදුසුකම් ලබා ඇත.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සහ මහනුවර ක්‍රීඩා සමාජයේ winger ක්‍රීඩකයින් වන දිනුෂ චතුරංග සහ ධනුෂ් දයාන් කණ්ඩායමට වේගය මෙන්ම අත්දැකීම්ද එක් කරන්නට සමත් ක්‍රීඩකයන් දෙපළකි. CR & FC කණ්ඩායමේ කවිඳු පෙරේරා ද අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක් වන අතර නාවික හමුදාවේ සාලිය හඳපාන්ගොඩ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්වන්නේ වසර කිහිපයකට පසුවයි.

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිරන්ත පෙරේරා මෙන්ම ජේසන් දිසානායක ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයින් දෙපළකි. කෙසේවෙතත් සත් සාමාජික රග්බි පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් හට මෙවර තරගාවලිය අහිමිව ඇත්තේ ආබාධ හේතුවෙනුයි.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුදර්ශන මුතුතන්ත්‍රී සහ රිචඩ් ධර්මපාල තරගාවලියේ දෙවන අදියර වන විට ආබාධ වලින් සුවය ලබා සිටිනු ඇති බවට විශ්වාස කරන අතර තරගාවලිය අහිමි වන ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් අතරට ෆසිල් මරීජා, නයිජල් රත්වත්ත, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්වර, ෂෙහාන් පතිරණ, සඳුන් හේරත්, ලවංග පෙරේරා, කාංචන රාමනායක, රෝචන හෙට්ටිආරච්චි සහ සුහිරු ඇන්තනී ද ඇතුලත්.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම
  • ධනුෂ්ක රංජන් (නායක)
  • දුලාජ් පෙරේරා
  • ධනුෂ් දයාන්
  • දිනූෂ චතුරංග
  • ජේසන් දිසානායක
  • කවිඳු පෙරේරා
  • හිරන්ත පෙරේරා
  • සාලිය හඳපාන්ගොඩ
  • සශාන් මොහොමඩ්
  • තරින්ද රත්වත්ත
  • කෙවින් ඩික්සන් (20න් පහළ)
  • ඔමල්ක ගුණරත්න (20න් පහළ)
  • මැට් ටර්නර් – පුහුණුකරු
  • රජීව් පෙරේරා – සහාය පුහුණුකරු
  • රොහාන් චින්තක – කළමනාකරු

අතිරේක (STAND BY) ක්‍රීඩකයින්
රෙහාන් සිල්වා, නිශෝන් පෙරේරා, රීසා රෆායිඩීන් (තිදෙනාම 20න් පහල කණ්ඩායමේ ක්‍රීඩකයන් වේ)

කාන්තා කණ්ඩායම
  • රන්දිකා කුමුදුමාලී (නාවික හමුදා ක්‍රී.ස.)
  • සන්දීකා හෙමකුමාරි (නාවික හමුදා ක්‍රී.ස.)
  • සංජීවනී විජේතිලක (නාවික හමුදා ක්‍රී.ස.)
  • දසුනි සිල්වා (නාවික හමුදා ක්‍රී.ස.)
  • නිරංජලා වික්‍රමරත්න (යුධ හමුදා ක්‍රී.ස.)
  • අයේෂා පෙරේරා (යුධ හමුදා ක්‍රී.ස.)
  • නදීකා මුණසිංහ (යුධ හමුදා ක්‍රී.ස.)
  • පල්ලිකොන්දගේ දුලානි (යුධ හමුදා ක්‍රී.ස.)
  • තිලිනි විජේකෝන් (යුධ හමුදා ක්‍රී.ස.)
  • අනූෂා අත්තනායක (ගුවන් හමුදා ක්‍රී.ස.)
  • අයේෂා කළුආරච්චි (ගුවන් හමුදා ක්‍රී.ස.)
  • චරිනි ලියනගේ (යුධ හමුදා ක්‍රී.ස.)
  • සුදත් සම්පත් – පුහුණුකරු
  • වෛද්‍ය පියුමිකා තිලකවර්ධන – කළමනාකාරිණි