වේගපන්දු යවන්නෙකු වයසට යනකොට…

1443
As a fast bowler grows old - feature article

වේගපන්දු යවන්නෙකුගෙන් සම්පූර්ණ සේවය ලබා ගන්නට නම් ඔහුගේ ජීවය දැවී යාමට (burn out) නොදී රැකගත යුතුය.

එක්තරා ආකාරයකින් එය මලල ක්‍රීඩකයෙකුව කළමනාකරණය කිරීමක් වැනිය. ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් තරග වාරයකට පිය මැනීමේ දී, පළමු සති කිහිපයේ දී සිය උපරිම ජවය පිට කරනු නොලබයි. ඔහුව කෙමෙන් කෙමෙන් අවශ්‍ය දහන මට්ටමට රැගෙන යා යුතු අතර එහි මුදුනක දී ඔහුගේ සීමාවන් බිඳ හෙළීමට උනන්දු කළ යුතුය. ඒ මුදුනෙ හි සිට දැවී යන්නට ඉඩ නොදී ඔහුව පහතට බස්වාගන්නා ආකාරය ඉතාම වැදගත් ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේගපන්දු යවන්නට ද එසේමය. ඔවුන්ව පිළිවෙළින් උණුසුම් කොට, නිසි කාලයේ දී උපරිම දස්කම් වලට යාමට උනන්දු කරවන අතරම දැවී අළු වී යා නොදී සිසිල් කළ යුතුය. නැවත ඇවිලිය යුතුය. එංගලන්තයේ Jimi Anderson (ජිමී ඇන්ඩර්සන්) ඊට හොඳම උදාහරණයයි.

ඔහුව ප්‍රවේසමෙන් පරිහරණය කරන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඔහුගේ සහාය කාර්ය මණ්ඩලයේ ද අනුදැනුම ඇතිව දිගුකාලයක් පුරා ඇන්ඩර්සන්ගේ උපරිම සේවය ලබා ගනිමින් සිටින්නේ “ජීවය දැවී යාමට නොදී”ය.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක Pat Cummins (පැට් කමින්ස්) යොවුන් වියේ දී සහභාගී වූ ඔහුගේ මංගල ටෙස්ට් තරගයෙන් පසුව වසර 6ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය. ඊට හේතුව ආබාධ මාලාවකි. යොවුන් වියේ දී ම පැයට කිලෝමීටර 140ට ඉහළින්, 150ට ළඟින් පන්දු යැවූ   පැට් කමින්ස්ගේ ශරීරයේ ජිවය පහවෙමින් තිබිණි. වේගපන්දු යැවීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

30 හැවිරිදි කමින්ස් පවසන්නේ ඔහුට තවත් වසර 5ක් පමණ ඇති බවයි.

මූලිකවම ක්‍රිකට්, අවුරුද්දේ මාස 12 දී ම තියෙනවා,” හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩක Rio Ferdinand (රියෝ ෆර්ඩිනැන්ඩ්) හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.

හැමවෙලේම කොහෙහරි ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා. මම අවුරුද්දක් දෙකක් විතර නොකඩවා ක්‍රීඩා කළා. මේ කියන්නේ අවුරුදු 4-5කට කලින්. මගේ ආබාධ සුවවුනා විතරයි,” ඔහු කීවේය.

මම හිටියේ ගෙවී ගිහින් වගේ, දැවිලා. මට මතකයි මම හිතුවා, ‘හම්මේ, මට තාම 25යි, මට මේක 35 වෙනකම් වත් කරන්න ඕන. මම මේ වෙනස් දේවල් සමබර කරගන්න විදියක් හොයාගන්න ඕන,” ඔහු සිහිකළේය.

ආබාධ, තරග පීඩනය, ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සහ ආදරණීයයන්ගේ අවවාද මැද සිරවෙන වේගපන්දු යවන්නෙකු කෙතරම් කල්පනාවෙන් පසුවිය යුතු ද යන්න කමින්ස් සිහි කරයි. මීළඟට ඔහු ටෙස්ට් ලෝක ශූරතා තරගයටත්, අළුබඳුන තරගාවලියටත් සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

පැවැත්වෙන අධික තරග සංඛ්‍යාව මධ්‍යයේ වේගපන්දු යවන්නෙකුව කළමනාකරණය කිරීම එතරම් පහසු නැත. ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා, එංගලන්තයේ ජොෆ්රා ආචර්, ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර ආදී වත්මන් වේගපන්දු ප්‍රබලයන් රැසක් මේ ලිපිය ලියන මොහොතේ ආබාධවලට ලක්ව සිටියි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව ආදී කළමනාකරණයෙන් ප්‍රමුඛ රටවල් ඔවුන්ගේ වේගපන්දු යවන්නන්ගේ කාර්යබහුලත්වය පාලනය කිරීමට වෑයම් කරන්නේය.

පසුගිය දා අවසන් වූ IPL තරගයකින් පසු හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ අරබයා පල කළ අදහස් මෙහිලා වැදගත් ය. ඔහු පැවසුවේ 20 හැවිරිදි මතීෂව ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ක්‍රිකට් යන සියලු ක්‍රිකට් රටා අතර යවා වෙහෙසට පත් නොකර, ඔහුව ටෙස්ට් ක්‍රිකට් වලින් ඈත් කර තබන ලෙසත්, ප්‍රධාන එක්දින තරගාවලි වලට පමණක් ඔහුව යොදාගන්නා ලෙසත් ය. ක්‍රීඩක කළමනාකරණය අතින් ඉතා දුර්වල ශ්‍රී ලංකාව වැනි රටකට එම අදහස් අතිශයින්ම වටිනේය.

දක්ෂතාවන්හි මුදුනක සිටිය දී හැකි තරම් ක්‍රීඩා කිරීමේ වරදක් නැත. එහෙත් දැවී අළු වී ගිය පසු වේගපන්දු යවන්නෙකුගෙන් ගත හැකි සේවයක් නැත. එය ඔහුට කරන අසාධාරණයකි. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කෙතරම් විශාල සීමිත පන්දුවාර තරගයකට වුවත් ජිමී ඇන්ඩර්සන්ව සහ ස්ටුවර්ට් බ්‍රෝඩ්ව කැඳවන්නේ නැත. ඔවුන් ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් ප්‍රවේසම් කරනු ලැබේ.

මේ මොහොතේ සිටින ප්‍රමුඛතම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සිය තරග වාරය ආරම්භ කළේ මීටර 200 ඉසව්වෙනි. ඔහුගේ සුපුරුදු ඉසව්ව මීටර 100 ඉසව්ව වුවත්, ඔහු 200න් අරඹා, 150ට පැමිණ ක්‍රමක්‍රමයෙන් 100 දක්වා පැමිණෙනු ඇත. ක්‍රීඩාවේ විද්‍යාව සම්බන්ධව ලෝකය අපට වඩා දියුණු ය, පෙරටුගාමී ය. ඉතාලියේ යන්නට වාසනාවන්ත වූ නිසා සහ කැපවූ නිසා යුපුන් පරිපූර්ණ වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස පුහුණුවීම් ලබයි.

එසේ තිබිය දී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජාත්‍යන්තර කණ්ඩායම සහිත ක්‍රිකට්, කොයිබට යා යුතු ද?

එක් එක් වේගපන්දු යවන්නාව සමීපව නිරීක්ෂණය කොට ඔවුන්ගේ ශරීරයෙහි අග මුල, එනම් ශක්‍යතාවය හොඳින් මැන බලා, ඔවුනට අවශ්‍ය සහාය සැපයීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ද සුවදායී වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<