සුලෝහිත සංග්‍රාමයට සමගාමීව සංවිධානය කරන වාර්ෂික එක්දින තරගයේ දී ආනන්ද විදුහල් කණ්ඩායම ජයග්‍රහණය සඳහා වැඩි වාසි සමඟින් පිටියට පිවිසුනත්, මෑත ඉතිහාසයේ ලද එක්දින තරග ජයග්‍රහණ මඟින් ලැබූ මානසික වාසිය නාලන්ද විද්‍යාලයට ඉමහත් ශක්තියක් වනු ඇත. එම ශක්තිය සමඟින් වසර 7ක් පුරා බිඳ දැමීමට නොහැකි වූ පරාජයේ ශාපය අවසන් කරන්නට ඔවුන් උත්සාහ දරද්දී, ආනන්ද ක්‍රීඩකයන් තම අඛණ්ඩ ජයග්‍රහණ දාමයට 8 වන පුරුක සොයා දියත් කරන සටනේ රජ දැක්ම මාර්තු 19 වැනිදා (හෙට) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී රඟ දැක්වෙනු ඇති.

ඇතුගල්පුර සටනට කුරුණෑගල සුදානම්

“ඇතුගල්පුර සටන” හෙවත් වයඹ පළාතේ ප්‍රධානතම මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වීමට හරියටම ඇත්තේ තවත් දිනක් පමණි. මෙම මහා ක්‍රිකට් තරගයෙන් රටට…

තරගයේ ඉතිහාසය

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර වාර්ෂික එක්දින තරග ඉතිහාසය 1975 වසර දක්වා අතීතයට දිව යයි. 2014 වසරේ දී තරගය පැවැත්වීමට නොහැකි වූ අතර අවසන් වරට පැවති තරග 6ක ම ජයග්‍රහණ හිමි කරගෙන සිටින්නේ ආනන්ද විද්‍යාලයයි. තරගාවලි ඉතිහාසය දෙස බලන කළ ආනන්දීයයන් ජයග්‍රහණ 26කට හිමිකම් කියමින් ඉදිරියෙන් පසුවෙද්දී, නාලන්ද ක්‍රීඩකයන් වාර්ෂික එක්දින තරග ජයග්‍රහණ 12ක අයිතිය තහවුරු කරගෙන තිබේ.

නිසල් ෆ්‍රැන්සිස්කෝගේ නායකත්වයෙන් යුතු ආනන්ද විද්‍යාල කණ්ඩායම පසුගිය වසරේ (2016) තරගය ජය ගත් අතර නාලන්දාවට අවසන් වාර්ෂික එක්දින තරග ජය හිමි කර දී තිබෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නිපුන් කරුණානායක යටතේ තරග වැදුණු 2009 කණ්ඩායමයි.

[rev_slider dfcc728]

.

88 වන සුලෝහිත සංග්‍රාමයේ සිදුවූයේ කුමක්ද?

පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද කණ්ඩායම ලකුණු 144කට සීමා කරන්නට ආනන්ද විද්‍යාලය සමත් වූයේ නායක කවිෂ්ක අංජුල කඩුලු 3ක් දවා ගැනීමත් සමඟයි. පිළිතුරු ලෙස සම්මු අශාන්ගේ ලකුණු 67න් සවිය ලැබූ ආනන්දීයයන් කඩුලු 8කට ලකුණු 190ක් ලබාගෙන පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. කෙසේ වෙතත් ලක්ෂිත රසාංජන තම පිත්තේ රිද්මය සොයා ගැනීමත් සමඟ තරගය අවසන් වනතෙක් නාලන්ද දෙවන ඉනිම ගොඩනගන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. රසාංජන ලකුණු 113ක් රැස් කරද්දී නාලන්දාවේ දෙවන ඉනිම සටහන් වූයේ කඩුලු 5කට ලකුණු 280ක් ලෙසයි. මේ අනුව තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවත් ආනන්දයට පහසු පළමු ඉනිමේ ජයක් හිමි විය.

රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය අද (05) කොළඹ SSC පිටියේ දී…

.

ආනන්ද විද්‍යාලය

පස් වන වසරේ වර්ණ ලාභියෙකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන සම්මු අශාන් ආනන්ද පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන වගකීම් දරන්නෙකි. මහා ක්‍රිකට් තරගයේ දී ද විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කළ මෙම ප්‍රවේගකාරී දකුණත් පිතිකරුවා මෙවර අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ දී තරග 10ක් තුල ලකුණු 410ක් ලබා ගෙන ඇතිව පමණක් නොව කඩුලු 37ක් බිඳ දමන්නට ද සමත් වී තිබේ.

නායක කවිෂ්ක අංජුල මෙම තරග වාරයේ දෙවන වැඩිම ලකුණු ලාභියා ලෙස පසුවන්නේ ලකුණු 889ක් සමඟයි. ඔහුගේ වසරේ දස්කම් අතරට ශතක දෙකක් සහ අර්ධ ශතක 7ක් ද ඇතුළත් වන අතර කඩුලු 17කට ද හිමිකම් කියන අංජුල මහා ක්‍රිකට් තරගයේ දී නව පන්දුවෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් විය. එමෙන්ම පසුගිය වාර්ෂික එක්දින තරගයේ දී වාර්තා කළ ශතකය වැනි දස්කමක් මෙවරද නැවත පෙන්වන්නට නායකයාගේ අවධානය යොමු වනු ඇත.

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සහන් සුරවීර ආනන්ද පිතිකරණ ලැයිස්තුවේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා වන්නේ මෙවර තරග වාරයේ ලකුණු 1000 සම්පූර්ණ කල ක්‍රීඩකයන් අතලොස්ස අතරට ද පිවිසෙමිනුයි. 18 හැවිරිදි මේ වමත් පිතිකරුවාගේ නම ඉදිරියෙන් ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් ලියවී තිබේ. සුලෝහිත සංග්‍රාමයේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් සහන් වාර්ෂික එක්දින තරගයේ දී තම හැකියාව පෙන්වීමට නොඉවසිල්ලෙන් පසු වනු ඇත.

අසෙල් සිගේරා තම වමත් දඟ පන්දුවෙන් ආනන්ද දඟ පන්දු බල ඇණියට මූලිකත්වය ලබා දෙන අතර දිලීප ජයලත් ඔහුගේ සහයට සටන් වදිනු ඇත.

අපේක්ෂිත කණ්ඩායම

කවිෂ්ක අංජුල, දිලීප ජයලත්, සම්මු අශාන්, සහන් සුරවීර, සනත් දසනායක, දුශාන් හෙට්ටිගේ, අසෙල් සිගේරා, කමේෂ් නිර්මාල්, සුපුන් වරාගොඩ, චාමික ගුණසේකර,  ලහිරු අත්තනායක.

.

නාලන්ද විද්‍යාලය

නායක දසුන් සෙනෙවිරත්න නාලන්ද මුල් පෙළ පිතිකරණයේ ප්‍රවේගකාරී සාමාජිකයා ලෙස කටයුතු කරද්දී මහා ක්‍රිකට් තරගයේ ශතක ලාභී ලක්ෂිත රසාංජන යලිත් වරක් තම පිත්තේ දස්කම් ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න සියලු නාලන්ද ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

19න් පහළ ජාතික කණ්ඩායම් නියෝජනයක් වන මාලිංග අමරසිංහ මෙවර තරග වාරයේ දී ලකුණු 857ක් ලබා ගෙන නාලන්ද පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන පුරුකක් බවට පත්ව සිටින අතර ඔහුගේ දස්කම් අතරට කඩුලු 28ක් ද ඇතුළත් වෙයි.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක උමෙෂ්ක ඩිල්ශාන් නාලන්දාවේ පන්දු බල ඇණියේ ප්‍රධාන පුරුකක් වන්නේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය තුල කඩුලු 54ක් දවා ගනිමිනුයි. මහා ක්‍රිකට් තරගයේ දී ද ආනන්ද පිතිකරුවන්ට තර්ජනයක් වූ අසෙල් කුලතුංග මේ තරග වාරයේ නාලන්ද කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන අතර ඔහු සතු කඩුලු සංඛ්‍යාව 73ක්.  අසෙල්ගේ දකුණත් පිට දඟ පන්දු සහ උම්ෂ්කගේ වමත් දඟ පන්දුවේ සුසංයෝගය මෙම තරගයේ දී විශේෂ අවධානයක් දිනා ගනු ඇත.

සිංගර් කුසලාන පාසල් එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයක දී ආනන්ද විද්‍යාලය පරාජය කරන්නට නාලන්ද ක්‍රීඩකයන් සමත් වූ අතර 43 වන වාර්ෂික එක්දින තරගයේ දී එම දස්කම නැවත ප්‍රදර්ශනය කරන්නට ඔවුන් මහත් බලාපොරොත්තු තබා ගෙන සිටිනු නොඅනුමානයි.

අපේක්ෂිත කණ්ඩායම

දසුන් සෙනෙවිරත්න, මාලිංග අමරසිංහ, ලක්ෂිත රසාංජන, සුහංග විජේවර්ධන, කසුන් සඳරුවන්, කලණ කත්‍රිආරච්චි, රශ්මික මධුශාන්, අසෙල් කුලතුංග, උමෙෂ්ක ඩිල්ශාන්, කලණ පෙරේරා, අවිශ්ක පෙරේරා.

සාරාංශය

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ දස්කම් දෙස බැලූ කළ නාලන්දාවට එතරම් සුභවාදී චිත්‍රයක් දක්නට නොලැබුණ ද, මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඇති අවිනිශ්චිත ස්වභාවය සමඟින් මේ දිනවල පවතින කාලගුණයේ අවිනිශ්චිත ස්වභාවය ද එක්වූ කළ තරග ප්‍රතිඵලයක් පිළිබඳ අනාවැකි පල කිරීම අතිශය අසීරු කාර්යකි.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න