ලංකාවට එන ඕස්ට්‍රේලියානු පිලේ පන්දු යවන්නන් ඩොනල්ඩ්ට භාර දෙයි

361
Allan Donald

මෙම වසරේ ජුලි 26වැනිදා සිට සැප්තැම්බර් 9වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය කෙටි කලක් සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු වේගපන්දු යවන්නකු වූ ඇලන් ඩොනල්ඩ් යටතට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් හා විස්සයි-20 තරග දෙකකට මුහුණ දීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේදී මෙන්ම සැප්තැම්බර් මස 27දා සිට ඔක්තෝබර් 12වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහාද ඩොනල්ඩ්ගේ සේවය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව තිබේ.

පසුගිය විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඕස්ට්‍රේලියානු පන්දු යැවීම් අංශයේ පුහුණුකරු ලෙස සේවය කළ ක්‍රෙග් මැක්ඩර්මට් එම තනතුරෙන් ඉවත් වී තිබූ අතර, එතැන් සිට කොදෙව්, දකුණු අප්‍රිකාව සමග කොදෙව් දේශයේදී ජුනි මාසයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී පමණක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය බටහිර ඕස්ට්‍රේලියානු වේගපන්දු පුහුණුකරු ඇඩම් ග්‍රිෆිත්ට භාර වී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායමේ හිටපු නායක ශ්‍රී ධරන් ශ්‍රී රාම් පත්කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඉදිරියේදී පියවර ගනු ඇති බවද වාර්තා වේ. අවුරුදු 40ක් වයසැති ශ්‍රී ධරන් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.