චාමිකගේ පන්දු යැවීම ගැන සැකයක් නැහැ

705

22 හැවිරිදි වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ අතර එහි දී එම ඉරියව්ව සැක සහිත නොවන බව චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර විශ්වවිද්‍යාලය පවසා සිටියි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් කඩඉමක් …

පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මහනුවර හා ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට දී පැවති තරගයේ දී චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක හා දීපාල් ගුණවර්ධන තරග තීරකවරයා වෙත දැනුම් දී ඇත.  එම තීරණය නිසා කරුණාරත්නට සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු තරග තහනමකට ලක් කළ නිසාවෙනි.

කරුණාරත්න ඉහත සිදුවීම වූ තරගයේ දී ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත් අතර උපුල් තරංග, රොෂේන් සිල්වා, සධීර සමරවික්‍රම හා දසුන් ශානක යන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනාම ඔහුගේ කඩුලු 5 අතර විය.

කරුණාරත්න වේගපන්දු යවන පුහුණුකරුවෙක් වන චමිල ගමගේ යටතේ පසුගිය මැයි මස 16 වැනිදා චෙන්නායි හි පැවති පරීක්ෂණයට ඉදිරිපත් වූ අතර ඒ අනුව කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව  පිළිබඳව ගැටලුවක් නොමැති බව තහවුරු වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති අනුව පන්දු යැවීමේ දී වැලමිට අංශක 15 සීමාව ඉක්මවා නැමීමට නොහැකි අතර එය ඉක්මාව ගියහොත් පමණක් එය නීත්‍යනුකූල නොවන පන්දු යැවීමක් ලෙස සලකනු ලබයි.

රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් චාමික කරුණාරත්න දැනට එන්. සී. සී ක්‍රිකට් සමාජය නියෝජනය කරනු ලබන අතර මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග 25ක දී කඩුලු 54ක් දවා ගැනීමට කරුණාරත්න සමත්ව ඇත්තේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21ක් වැනි මට්ටමක පවත්වා ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<