බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙක් CPL ප්‍රතික්ෂේප කරයි

729

2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනකු තීරණය කර තිබේ. 

අගෝස්තු 18 වැනිදා ආරම්භ වීමට නියමිත කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තමන් ඉවත් වන බව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන තමිම් ඉක්බාල්, මහ්මුදුල්ලා සහ මුස්ටෆිසූර් රහ්මාන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

කණ්ඩායම් 6ක් සහභාගී වන මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 8 වැනි සංස්කරණය ලෙස පැවැත්වීමට නියමිතය. මීට පෙර සික්ස් අයිලන්ඩ් හි පැවැත්වීමට සැලසුම් කර තිබූ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ට්‍රිනිඩැඩ් හා ටොබෑගේ හිදී පැවැත්වීමට එහි සංවිධායකයන් පසුගිය දා තීරණය කළේය. 

බංග්ලාදේශ දේශීය විස්සයි විස්ස තරගාවලිය වන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය බව පවසමින් තමිම් ඉක්බාල් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇත. COVID-19 වසංගතය හේතුවෙන් මේ වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට සිදු විය. මහ්මුදුල්ලා සිය පෞද්ගලික හේතුවක් මත කැරිබියන් තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

බංග්ලාදේශය තුල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වන දිනයක් තවමත් අවිනිශ්චිත පවතී. කෙසේ වෙතත් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ විට එයට ප්‍රමුඛතාවය දිය යුතු බව පවසමින් මුස්ටෆිසූර් රහ්මාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දන්වා ඇත.  

“කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්න කියලා මට ආරාධනාවක් ආවා. ඒ වගේම කණ්ඩායමේ කෙනෙක් මට කතා කළා. නමුත් අපේ දේශීය වාරය වන ඩකා ප්‍රිමියර් ලීග් ඉක්මනින් ආරම්භ වීමට ඉඩ තියනවා. ඒ නිසා මම කැරිබියන් තරගාවලියට යන්නෙ නැතිව ඉන්න තීරණය කළා” තමිම් ඉක්බාල් CRICBUZZ වෙබ් අඩවිය වෙත පවසා තිබුණි. 

මහ්මුදුල්ලා මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කර තිබේ. මේ නිසා මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ගිවිසුම් ගත වීමට තමන් මීට පෙර තීරණය කර තිබූ බව මහ්මුදුල්ලා පැවසීය. නමුත් වත්මන් තත්ත්වය මත තම පවුලේ අය විදෙස් සංචාර සඳහා එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා තමන් තරගාවලිය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බව මහ්මුදුල්ලා පවසා තිබුණි.  

“මම මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරලා තියනවා. මම ඒ තරගාවලිය ගොඩක් කැමති තරගාවලියක්.” 

“කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙතින් මට ලැබුණු ගිවිසුම ඉතා හොඳ එකක්. මම එක් කණ්ඩායමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ඉතා ආසන්නව සිටියේ. නමුත් මගේ පවුලේ අය මගේ ප්‍රධානතම කාරණයයි. මේ කාලය තුළ මම සංචාරවලට එක්වීම ගැන ගැන ඔවුන් කනස්සල්ලට පත්වුනා. ඉතින් මම තීරණය කලා තරගාවලිය ප්‍රතික්ෂේප කරන්න.” 

බිග් බෑෂ් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

තමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලා මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී තිබුණ ද මුස්ටෆිසූර් රහ්මාන් මීට පෙර එම තරගාවලිය සඳහා සහභාගී වී නොමැත. 

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට සහභාගී වීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය මුස්ටෆිසූර් හට අවසරය ලබා දී තිබුණි. මේ නිසා ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳ තීරණය ගනු ලැබුවේ ඔහුගේ ජාතික රාජකාරි බැඳීම් මත පමණක් බවත්, එයට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් පැනවූ සම්බාධක සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව වමත් වේග පන්දු යවන්නා තරයේ කියා සිටියේය.

“අපේ රටේ දේශීය හා ජාතික ක්‍රිකට් තරග නැවත ආරම්භ වන්නේ කවදා දැයි මම දන්නේ නැහැ.  කොරෝනා වයිරසයේ තීව්‍රතාව හා බරපතලකම අඩු වී තත්වය යථා තත්ත්වයට පත්වුවහොත්, කල් දැමූ සංචාර හෝ දේශීය තරග මාලාව ආරම්භ කරන්න අවස්ථාවක් තියනවා. ජාතික කණ්ඩායමේ තරග ආරම්භ වෙන්නේ කවදාද කියලා අදහසක් නැතිව මම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළොත් එය විශාල ගැටලුවක් වෙන්න පුළුවන්” එය මුස්ටෆිසූර් පැවසීය.

“මගේ රට මගේ පළමු ප්‍රමුඛතාවයයි. මම මුලින්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕනේ.  නමුත් මම මගේ වචන කැරිබියන් කණ්ඩායමට දුන්නොත් ඔවුන්ටත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මාත් සමඟ ගිවිසුමක් අත්සන් කළාට පස්සේ ඔවුන්ට මාව නිසි ස්ථානයට යොදාගන්න බැරි නම් ඔවුන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා.” 

“දැන් මම ජාතික කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කරන තෙක් බලාගෙන ඉන්නවා.”

තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති පරිදි සෑම දෙයක්ම සිදුවුවහොත් අගෝස්තු මැද භාගයේ සිට ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලිය කල් දැමීමත් සමඟ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකි කවුළුවක් විවෘත වී තිබේ. මේ නිසා පැවැත්වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා සංචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම තත්ත්ව යටතේ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ නොවන්නේ නම් අගෝස්තු මාසයේ මැද භාගයේ සිට ජාතික කණ්ඩායම සඳහා පුහුණු කඳවුරක් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<