වසර 17ක වාර්තාවකට අලුත් හිමිකාරයෙක්

396

වසර 17ක් පැරණි වාර්තාවක් ද අලුත් කරමින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය අද (4) නිමා විය. 2001 වසරේ දී වලල A. රත්නායක විදුහලේ මනෝජ් පුෂ්පකුමාර විසින් 18න් පහළ බාලක මීටර 800 ඉසව්ව මිනිත්තු 01:56:3කින් අවසන් කරමින් තබා තිබූ වාර්තාව අද දින හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ දිනූෂ චමුදික ද සිල්වා විසින් බිඳ හෙලන ලදි. වසර 17ක් මුළුල්ලේ කිසිවෙකු විසින් අභිබවා නොගිය වාර්තාව අද දිනූෂ විසින් අභිබවා ගියේ එම ඉසව්ව මිනිත්තු 1:54:74කින් නිමා කරමින්ය.

කැලණිය ගුරුකුල විදුහලේ සසිඳු දේශාන් සහ වලල A. රත්නායක මධ්‍ය මහා විදුහලේ C. K. වීරසේකර පිළිවෙළින් එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.

කෞෂල්‍යා වසර 10 වාර්තාවක් බිඳ දමයි

නව වාර්තා 16ක් බිහි කරමින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය අද (3)..

ඊට අමතරව වසර 12ක් පැරණි 18න් පහළ බාලිකා යගුලිය විසිකිරීමේ ඉසව්වේ වාර්තාව ද අද දිනයේ දී අලුත් විය. නව වාර්තාවේ හිමිකාරිණිය වූයේ කොළඹ කාන්තා විදුහලේ සරිෂා ගුණසේකරයි. පැරණි වාර්තාවේ හිමිකාරිනිය වූ කොළඹ මියුසියස් විද්‍යාලයේ දෙවනි මදුරප්පෙරුම විසින් යගුලිය මීටර 11.82ක් ඈතට විසිකරමින් 2006 දී පිහිටුවා තිබූ වාර්තාව, නව වාර්තාවේ හිමිකාරිනිය වන සරිෂා විසින් බිඳ හෙළ ලද්දේ යගුලිය මීටර 13ක් ඈතට විසිකරමිනි. වසර 12ක් පැරණි වාර්තාව සරිෂා විසින් සියතට ගනු ලැබුවේ පැරණි වාර්තාවට වඩා මීටර 1.18ක වැඩි දක්ෂතාවක් පෙන්වමින් වීම ද සුවිශේෂී කරුණකි.

වලල A. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සතුව තිබූ තවත් තරගාවලි වාර්තාවක් අද දින ඔවුන්ගෙන් ගිලිහී ගිය අතර එම වාර්තාව වූයේ 18න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වෙන් 2013 වසරේ දී වලල A. රත්නායක මධ්‍ය මහා විදුහලේ H. K. ධර්මරත්න විසින් පිහිටුවනු ලැබූ වාර්තාවයි. මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ අයිෂ්වර්යා ඖෂදී වික්‍රමසේකර විසින් මීටර් 3.12ක දස්කමක් ප්‍රදර්ශනය කරමින් වාර්තාව ඇයගේ පාසලට දිනා දුන් අතර පැරණි වාර්තාව සටහන් වූයේ 3.11ක් ලෙසින්ය.

නිමා වූ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ උස පැනීමේ ශූරයා වන වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ R. H. ලිනුක දෙවන්සිත් රත්නප්‍රිය ද අද දිනයේ දී නව වාර්තාවක් පිහිටුවන ලදි. පසුගිය වසරේ දී කොළඹ සාන්ත පීතර විදුහලේ දිනුර ජයලත් විසින් බාලක 16න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර 1.89ක් වාර්තා කරමින් තැබූ වාර්තාව ලිනුක විසින් අලුත් කරනු ලැබුවේ මීටර 1.90ක දක්ෂතාවක් පෙන්වමිනි.

එම ඉසව්වේ රිදී පදක්කම පන්නිපිටිය ධර්මපාල විදුහලේ උදිල් විත්සරිත් හට හිමිවන විට ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ G. T. තීක්ෂණ හට ලෝකඩ පදක්කම හිමි විය.

හම්බන්තොට සූරියවැව පාසල විසින් අද දිනයේ දී හිමිකරගත් දෙවැනි ක්‍රීඩා උළෙල වාර්තාව එම පාසලට හිමිකර දුන්නේ බිනාදී මල්ෂා විසිනි. 16න් පහළ බාලිකා මීටර 800 ඉසව්ව මිනිත්තු 2:16:19කින් නිමා කළ බිනාදී විසින් බිඳ හෙලනු ලැබුවේ පසුගිය වසරේ දී ගුරුගොල්ල වීරසිංහ මහා විද්‍යාලයේ නෙත්මි නිම්සරා විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් වූයේ මහාරච්චිමුල්ල ගල්ගමුව මහා විද්‍යාලයේ හෂිනි ඉරේෂා බස්නායක සහ වලල A. රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ T. D. කරුණාරත්නයි.

අද දිනයේ දී  වලල A. රත්නායක මාධ්‍ය මහා විදුහලට වාර්තා ද්විත්වයක් අහිමි වී ගිය ද තවත් එක වාර්තාවක් සිය පාසල නමින් ලියවීමට රත්නායක මාධ්‍ය මහා විදුහලේ P. S. කුමාරට හැකි විය. පසුගිය වසරේ දී අම්පිටිය බෙවරස්ට් විදුහලේ B. N. D. බුලුගහපිටිය විසින් වයස අවුරුදු 16න් පහළ මීටර 800 ඉසව්ව මිනිත්තු 2:00:73කින් නිමා කරමින් හිමිකරගෙන සිටි වාර්තාව අද දින කුමාර විසින් අලුත් කරනු ලැබුවේ මීටර 800 ඉසව්ව මිනිත්තු 2:00:68කින් නිමා කරමිනි.

මාදම්පේ සේනානායක මාධ්‍ය මහා විද්‍යාලයේ ලහිරු අවිශ්ක එහි රිදී පදක්කමත්, ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලයේ W. යොහාන් ජේසිස් එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් හිමිකර ගන්නා ලදි.

>> සිව්වැනි දිනයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න <<

බාලිකා 16න් පහළ මීටර 300 කඩුලු  පැනීමේ ඉසව්වේ මූලික වටයේ තරගයකින් නව තරගාවලි වාර්තාවක් බිහිකිරීමට නුවර විහාර මහාදේවි විදුහලේ H. A. A. P. හෙට්ටිආරච්චිට හැකි විය. ඇය විසින් වාර්තා කළ කාලය වූයේ තත්පර 44:07කි. ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන හෙට (05) උදෑසන 9.50ට එම ඉසව්වේ අවසන් තරගය පැවැත්වෙනු ඇත.

එයට අමතරව 12න් පහළ බාලිකා මීටර 60 ඉසව්වේ මූලික වටයේ තරගයකින් නව වාර්තාවක් බිහිකිරීමට කොළඹ මියුසියස් විදුහලේ සනුකි ගුණරත්නට හැකි විය. මෙහි අවසන් ඉසව්ව හෙට උදෑසන 9.25ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අයේෂ් සහ ෂැනෙලාගෙන් නැවතත් විශිෂ්ට දස්කම්

14න් පහළ බාලක සහ බාලිකා මීටර 80 ඉසව්වේ මූලික වටයේ දී ම පෙර පැවති වාර්තා අලුත් කිරීමට S. K. අයේෂ් මිහිරංගට සහ ෂැනෙලා සෙනෙවිරත්නට හැකි විය. ඒ අනුව ඔවුන් දෙදෙනාම මෙම ක්‍රීඩා උළෙලේ වාර්තා දෙක බැගින් හිමිකරගෙන සිටී. අයේෂ්ගේ පාසල වන්නේ හෙන්නතොට විද්‍යාවර්ධන මහා විද්‍යාලයයි. ෂැනෙලාගේ පාසල නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. ඔවුන් දෙදෙනා ද හෙට දිනයේ දී මෙම ඉසව්වල අවසන් ඉසව්වට සහභාගී වනු ඇත.

කෞෂල්‍යා වසර 10 වාර්තාවක් බිඳ දමයි

නව වාර්තා 16ක් බිහි කරමින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය අද..

34 වැනි වරට පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ හතරවැනි දිනය අද (4) නිමා වන විට, මෙම දින හතර පුරාම වාර්තා 41ක් අලුත් කිරීමට ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම සුවිශේෂී කරුණකි. එම වාර්තා 41 අතරට බාලක අංශයෙන් වාර්තා 22ක් ද, බාලිකා අංශයෙන් වාර්තා 19ක් ද ඇතුලත්ව ඇත.

අද දිනය නිමා වන විට ප්‍රසාද ලකුණු 1079ක් හිමිකරගෙන සිටින බස්නාහිර පළාත් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 388 සහ 272 හිමිකරගෙන සිටින මධ්‍යම සහ වයඹ පළාත් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.

>> සිව්වැනි දිනයේ සම්පූර්ණ ලකුණු සටහන

මෙම ක්‍රීඩා උළෙලේ අවසාන දිනය හෙට වන අතර හෙට දිනයේ දී අවසාන ඉසව් 27ක් පැවැත්වෙනු ඇත. හෙට තරගාවලියේ සමාප්ති උළෙල ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සහභාගී වීමට නියමිතයි. අවසන් දිනයේ පුවත් සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න –මලල ක්‍රීඩා පිටුවට <<