අලුත් IPL කණ්ඩායමේ අලුත් නම එළිදක්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

5929

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අලුතින් එක් වූ කණ්ඩායමක් වන Ahmedabad නියෝජනය කරන කණ්ඩායමේ නිල නාමය අද (09) ප්‍රකාශයකට පත් කළා.

එම කණ්ඩායම “Gujarat Titans” ලෙසින් හැඳින්වීමට තීරණය කළ බව එහි හිමිකරු වන CVC Capital Partners හී ප්‍රධානී Siddharth Patel විසින් තහවුරු කර තිබුණා.

මෙවර තරගාවලිය සඳහා එක් වූ දෙවැනි කණ්ඩායම මෙය වන අතර Lucknow නියෝජනය කරමින් තරගාවලියට අලුතින් එක්වූ අනෙක් කණ්ඩායමේ නාමය Lucknow Super Giants බව එහි හිමිකරුවන් මීට පෙර ප්‍රකාශ කළා.

Gujarat Titans මෙහෙයවීමේ වගකීම ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya හට හිමිව ඇති අතර ඔහුට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rashid Khan සහ ඉන්දීය යොවුන් ක්‍රීඩක Shubman Gill වෙන්දේසියට පෙර එම කණ්ඩායමට එක් කරගෙන තිබුණා.

විස්සයි විස්ස පිටියේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Rashid Khan සහ Hardik Pandya ඉන්දීය රුපියල් කෝටි 15කට එම කණ්ඩායම විසින් මිල දී ගෙන තිබූ අතර Shubman Gill ඉන්දීය කෝටි 08කට කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

Ahmedabad නියෝජනය කරමින් කණ්ඩායමක් මෙම තරගාවලියට එක්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2016 සහ 2017 කාලසීමාවේ දී Ahmedabad නියෝජනය කරමින් Gujarat Lions තරගාවලියට එක්වුනා.

ඉන්දීය පිතිකරු Suresh Rainaගේ නායකත්වයෙන් යුත් Gujarat Lions සිය පළමු තරගවාරයේම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූවත් ඔවුන්ට ශූරතාවය දිනා ගැනීමට හැකි වුනේ නැහැ.

මෙවර තරගාවලියට එක්වූ Gujarat Titans කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක Ashish Nehra හට සහ එහි පිතිකරණ පුහුණුකරු සහ උපදේශක තනතුර හිටපු ඉන්දීය පුහුණුකරුවෙකු වන Gary Kirsten හට ලබා දී ඇති බව මීට පෙර වාර්තා වුනා.

සිය කණ්ඩායමේ නායකත්වය දරන Hardik Pandya පිළිබඳව අදහස් දක්වමින් Gary Kirsten ප්‍රකාශ කර සිටියේ නායකයෙකු ලෙස ඔහුට කළ හැකි දේ පෙන්වීමට Pandya මෙයින් පෙලඹෙන බවයි.

තරුණ සහ නවක නායක Hardik Pandya සමඟ වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ නායකයෙක් විදියට ඔහුට කළ හැකි දේ සැලසුම් කරලා කරන්න ඔහු පෙලඹෙනවා කියලයි, ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<