දෙපසට දෝලනය වූ යොවුන් ආසියානු කුසලානය ඉන්දියාව ළඟ නතර වෙයි!

1045

පෙරළිකාර සිදුවීම් රැසකින් සමන්විත වූ මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අද (14) අසල්වැසි ඉන්දීය කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් අවසන් මහා තරගයේ දී ඔවුන්ට බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ල වූ අභියෝගය සුළුපටු නොවූ අතර අවසන් ප්‍රතිඵලය ලෙස ඉන්දීය කණ්ඩායමට හිමි වූයේ ලකුණු 5ක ඉතාමත්ම තියුණු ජයකි.

පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට!

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලිය දෙස ඇස…

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති අවසන් මහා තරගය වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙකම අවස්ථාව හිමිකර ගත්තේ අවසන් පූර්ව වටයේ දී ඔවුන් සතු වූ වාසනාවේ ආශීර්වාදය ද සමඟයි. ඒ එම තීරණාත්මක තරග දෙකම වර්ෂාවට සේදී යාම නිසා නිතරගයෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් වටයට තේරී පත්වුණු නිසාවෙනි. ඔවුන්ට එම අවස්ථාව හිමි වූයේ මූලික වටයේ ඔවුන් සහභාගි වූ තරග තුනෙන්ම ජය ගෙන තිබීම නිසයි.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ද, වැඩි කල් යන්නට පෙර ඔහුට එම තීරණයේ වරද පැහැදිලිව දැක ගත හැකි විය. ඒ පන්දුවට පහර දීමට ගිය මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ගිය පයින්ම ආපසු ක්‍රීඩාගාරයට හැරී ඒම හේතුවෙනි. මේ නිසාවෙන්ම වරක ඉන්දීය ඉනිම ලකුණු 8ට කඩුලු 3ක් ලෙස සටහන් විය.

මේ අවස්ථාවේ තමන් ගත් තීරණයට හැකි පමණින් සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ ගත් ඉන්දීය යොවුන් පිළේ නායක දෲව් ජූරෙල් සංයමයකින් යුතුව ලකුණු 33ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් පමණක් එල්ල කරමිනි. මීට අමතරව ඔහුට ශාශ්වත් රාවත් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නගන්නට හැකි විය. ශශ්වාත් රාවත් ලකුණු 19යි.

උපන් නගරයේ ක්‍රීඩාංගණයේ කොටසක් කෝලිගේ නමට

දිනෙන් දින ලෝක ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා තබමින් ඉදිරියට යන ප්‍රබල චරිතයක් ලෙස ඉන්දීය…

මීට අමතරව පසුපෙළ පිතිකරුවෙකු ලෙස ඉන්දීය පිළට අවශ්‍යම මොහොතේ උපරිම සේවයක් ඉටු කළ කරන් ලාල් ලකුණු 37ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව සියය ඉක්මවා ඉදිරියට ගෙන යෑමට සමත් විය. පන්දු 43ක් තුල ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

මේ අනුව අද ඉන්දීය ඉනිමේ අවසානය දැක්වුණේ පන්දුවාර 32යි පන්දු 4ක් අවසානයේ ලකුණු 106ක් ලෙසයි.

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමට නොසිතූ තර්ජනයක් එල්ල කළ ම්‍රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙලීය. ඔහුට නොදෙවෙනි අයුරින් පන්දු යැවූ ශමීම් හොසේන් තම දකුණත් පිට දඟපන්දුවේ බලයෙන් කඩුලු 3කට හිමිකම් කීවේය. ඒ තම පන්දුවාර 6 තුල දී ලකුණු 8ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ඒ අනුව තරගයේ අර්ධයක් නිමා වන විට බොහෝ දෙනා සිතුවේ එක්දින තරගයක ඉතාමත් කුඩා ඉලක්කයක් වන මෙම අභියෝගය බංග්ලාදේශය පහසුවෙන් ජය ගනු ඇති බවයි.

Photos: India vs Bangladesh | Finals | U19 Asia Cup 2019

නමුත් සටනකින් තොරව තරගයක් අත් නොහරින ඉන්දීය පිළ දෛවය කණපිට හැරවීමේ මෙහෙයුම ආරම්භ කළේ පළමු පන්දුවාරයේ සිටයි. ඒ ආරම්භක පිතිකරු තන්සිඩ් හසන් ලකුණු නොලබාම දවා ගනිමිනි. එතකින් නොනැවතුනු ඔවුහු දෙවැනි, තෙවැනි සහ පස්වැනි පන්දුවාර වලදී ද කඩුලු දවා ගනිමින් බංග්ලාදේශ පිළේ කුසලාන බලාපොරොත්තු වලට මරු පහරක් එල්ල කළහ.

එහි දී බංග්ලාදේශ ඉනිම ලකුණු 16ට කඩුලු 4ක් බවට පත් කරමින් දැවී ගියේ මෙම තරගාවලියේ දී ශතක පවා රැස් කරමින් කණ්ඩායමට අපරිමිත මෙහෙයක් ඉටු කළ මොහොමදුල් හසන් නම් දකුණත් පිතිකරුවායි.

ශ්‍රී ලංකාවට එරෙහි වන පාකිස්තාන සංචිතයේ නායකත්වය කාටද?

මේ මස අවසානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කිරීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස…

මෙම කඩා වැටීමට ඔරොත්තු දීමට තරම් බංග්ලාදේශ නවක පිතිකරුවන් ශක්තිමත් නොවූ අතර ගොඩ නැගුණු පීඩනය ඔස්සේ කඩුලු එකින් එක බිඳ දමමින් ඉන්දීය පිළ ජයග්‍රහණයට ආසන්න විය. කෙසේ වෙතත් බංග්ලාදේශ පිළ කඩුලු 8ක් දැවී ලකුණු 101ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 5ක් මෙපිටින් සිටි මොහොතේ ඉන්දීය පිළ පරාජයෙන් ගලවා ගන්නේ අතර්වා අන්කොලෙකාර් නම් වමත් පිට දඟ පන්දු යවන්නායි. ඒ ඔහු ක්‍රියාත්මක කළ 33 වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශයේ අවසන් කඩුලු ද්විත්වයම දවා ගනිමිනි.

ඒ අනුව තම කණ්ඩායමේ ගෞරවයත්, කුසලානයේ හිමිකමත් ආරක්ෂා කර ගැනීමට අද ඉන්දීය කණ්ඩායමට හැකි විය. සුපිරි පන්දු යැවීමක යෙදෙමින් ප්‍රතිවාදීන්ගේ කඩුලු 5කට වගකියූ අතර්වා අන්කොලෙකාර් අද තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා බවට පත්වූයේ මූලික වටයේ තරගවල දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් වටිනා සේවයක් ඉටු කළ අර්ජුන් අසාද් නම් ආරම්භක පිතිකරුවායි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයෙන් සෑහීමකට පත් වන්නට සිදු වුවද කණ්ඩායම් නායක නිපුන් ධනංජය ඇතුළු යොවුන් ක්‍රීඩකයින් දැන් සිටම තේරුම් ගත යුතු පාඩම් රැසක් මෙම තරගාවලියේ දී දැකිය හැකි විය. ඒ අතීතයට වඩා වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව අතිශයින්ම තරගකාරී වී ඇති බවයි.

බංගලියන් නිසා ඉදිරිය අහිමි වූ ශ්‍රී ලංකා දක්ෂතා

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙන් යුත් වයස…

ඇෆ්ගනිස්තානය හමුවේ පාකිස්තානයත්, බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවත් පරාජය වෙමින් මෙන්ම අවසන් තරගයේ දී ඉන්දීය පිළේ ජය බංග්ලාදේශය හමුවේ අභියෝගයට ලක් වෙමින් තහවුරු වූයේ එම සරල සත්‍යයයි. ඒ අනුව මෙම සියලු ආකාරයේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන අභියෝගය ජය ගැනීමට නම් සහජ දක්ෂතාවයට වඩා ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපවීම අතිශයින්ම වැදගත් වන බව මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලැබෙන කාලෝචිතම සහ වටිනාම පණිවිඩය වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<