Mr. 360 ක්‍රිකට් පිටියට සමුදෙයි

1833
NDTV

දකුණු අප්‍රිකානු හිටපු නායකයෙකු මෙන්ම ලොව පුරා රැසකගේ ආදරය දිනා ගත් සුපිරි පිතිකරු AB de Villiers වසර 18ක ක්‍රිකට් දිවියෙන් පූර්ණ වශයෙන් සමුගන්නා බව අද (19) ප්‍රකාශ කළා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් AB de Villiers සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ,

එය ඇත්තටම අදහාගන්න බැරි ගමනක්, ඒත් මම සියලුම ආකාරයේ ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළා. මගේ වැඩිමහල් සහෝදරයන් සමඟ ගෙදර මිදුලේ ක්‍රීඩා කරපු දවසේ ඉඳන්ම මම සෙල්ලම් කළේ සතුටින් සහ විශාල උනන්දුවකින්.

මට දැන් 37ක් නිසා තවදුරටත් දීප්තිමත්ව දැල්වෙන්න බැහැ. මම පිළිගන්න ඕන යථාර්ථය ඒකයි. එය හදිසියේ වගේ පෙනුනත්, මම එය අද නිවේදනය කරන්නේ ඒකයි.”

2004 වසරේ දී දකුණු අප්‍රිකානු වරම් දිනා ගත් AB de Villiers දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 114, එක්දින තරග 228ක් සහ විස්සයි විස්ස තරග 78 ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 20014ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ටෙස්ට් සහ එක්දින සාමාන්‍ය 50ට ඉහළින් සටහන් වීම ද කැපී පෙනුණා.

එමෙන්ම දකුණු අප්‍රිකාව බිහි කළ සාර්ථක නායකයෙකු වූ ඔහු 2015 ලෝක කුසලාන තරගාවලියේ දී සිය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගය දක්වා රැගෙන ඒමට සමත් වුනා.

එක්දින පිටියේ වේගවත්ම ශතකය සිය නාමය ඉදිරියේ සටහන් කර ගත් AB de Villiers 2010, 2014 සහ 2015 යන වසරවල දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි සැමගේ අවධානය දිනා ගත් දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු 2018 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර පසුව ඔහු අවසාන වශයෙන් Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරමින් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<