ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කළ අන්තර් පාසල් 2 වැනි පෙළ Tier A කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ සහිරා විද්‍යාලය පරාජයට පත් කළ ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය ශූරතාව දිනා ගන්නවා.
කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සහිරා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ක්‍රිස්තු රාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 120ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සහිරා විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි. ඒ අනුව ක්‍රිස්තු රාජ විද්‍යාලයට ලකුණු 9ක ජයග්‍රහණයක් හිමි වුණා.
ක්‍රිස්තු රාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
හෙලි අංජල (නායක), අශේන් ඇන්ජෙලෝ, විදත් ඉඳුතර, විහඟ දිලුම්(කඩුලු රකින්නා), ජනිරු අභිශේක්, සයුර ආකාශ්, ලහිරු ලක්මාල්, චනිඳු වෙනුසර, සදුල්ක ප්‍රනාන්දු, ජනිරු විදුරංග සහ තීක්ෂණ කුමාර.
සහිරා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
තාබිත් රිස්ෆිකර් (නායක), ඉජාස් අහමඩ්, මොහොමඩ් මස්වූත්, හිම්සර හේශාන්, ආදිල් ජමල්ඩීන්, ජනිත් නෙත්මිණ, ලිතුම් රංසික, අහ්නාෆ් මවුලානා, නිතිශ් තේජාන් (කඩුලු රකින්නා), මොහොමඩ් ආකීල් සහ සයිෆුල්ලා සිරාජ්ඩීන්.
වර්ෂාව හේතුවෙන් පන්දු වාර 47කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රිස්තු රාජ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක හෙලි අංජන. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
ඊට අමතර ව විහඟ දිලුම් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ චනිඳු වෙනුසර පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
එම ඉනිමේ අනෙක් සෑම පිතිකරුවෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර පන්දු යැවීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ සයිෆුල්ලා සිරාජ්ඩීන් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව හිම්සර හේෂාන් ලකුණු 12කට කඩුලු 2ක් ද, මොහොමඩ් මස්වූත්, ලිතුම් රංසික සහ මොහොමඩ් අකීල් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- මහින්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- ශ්‍රී ලංකා යෞවනයෝ බංග්ලාදේශයට පරාජය වෙයි
- මාතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සහිරා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ මොහොමඩ් මස්වූත් සහ ජනිත් නෙත්මිණ. ඔවුන් අතුරින් මොහොමඩ් මස්වූත් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ ජනිත් නෙත්මිණ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.
සහිරා ඉනිම වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ව තිබුණ ද ඉන් අනතුරු ව ලකුණු 4ක් තුළ කඩුලු 3ක් බිඳ වැටීමත් සමඟින් ඔවුන්ගේ ඉනිම තරමක් පසු බැස්සා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 61ක් ලෙසයි. ඒ වෙද්දී සහිරා විද්‍යාලයීය ඉනිමේ දැවී ගිය සෑම කඩුල්ලක ම හිමිකාරීත්වය ලහිරු ලක්මාල් සතු වුණා.
කෙසේ වෙතත් ඉන් අනතුරු ව කඩුල්ලට එක් වූ ජනිත් නෙත්මිණ සහ අහ්නාෆ් මවුලානා (12) එක් ව ලකුණු 32ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය අසලට ගෙන යෑමට සමත් වුණා.
නමුත් පසු පෙළ පිතිකරුවන්ට එම ඉලක්කය කරා යෑමට ක්‍රිස්තු රාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඉනිමේ තවත් පන්දු 41ක් ඉතිරි ව තිබිය දී සහිරා විද්‍යාලයීය ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට ක්‍රිස්තු රාජ විද්‍යාලයිය පන්දු යවන්නෝ සමත් වුණා.
එහි දී දකුණතින් පිට දඟ පන්දු යැවූ ලහිරු ලක්මාල් ලකුණු 22කට කඩුලු 7ක් දවා ගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙනවා. ඊට අමතර ව ජනිරු අභිශේක් ලකුණු 15කට කඩුලු 2ක් ද සහ සයුර ආකාශ් කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ක්‍රිස්තු රාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 120 (42.0)විහඟ දිලුම් 22, හෙලි අංජන 28, චනිඳු වෙනුසර 22, සයිෆුල්ලා සිරාජ්ඩීන් 3/25, හිමසර හේෂාන් 2/12
- සහිරා විද්‍යාලය – සියලුම දෙනා දැවී 111 (40.1)මොහොමඩ් මස්වූත් 19, ජනිත් නෙත්මිණ 19, ලහිරු ලක්මාල් 7/22, ජනිරු අභිශේක් 2/15
ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට ලකුණු 9ක ජයක්.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















