Leo සහ Army කණ්ඩායම් Tier B T20 අවසන් මහා තරගයට

Tier B T20 Tournament 2026

1
Tier B T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (19) අවසන් පූර්ව වටයේ තරග පැවැතියා.

එහි දී Sebastianites C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගත් Leo CC කණ්ඩායම ද සහ Negombo CC කණ්ඩායමට එරෙහි ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගත් Army SC ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

මෙම අවසන් මහා තරගය මේ මස 22 වැනිදා කොළඹ, Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Army SC ක්‍රීඩකයෝ මෙවර Tier B එක්දින තරගාවලියේ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගය ජයග්‍රහණය කරමින් ශූරයන් බවට ද පත් වුණා.

>>Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

1 වැනි අවසන් පූර්ව තරගය, Leo CC සහ Sebastianites C & AC අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Leo CC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Leo CC ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Sebastianites C & AC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 133ක් පමණයි.

Leo CC කණ්ඩායම

 

සුපුන් ඩිල්ශාන් (නායක), ප්‍රසාද් අසංක, අශාන් ප්‍රනාන්දු, නෙත්ම කරුණාරත්න, නෙලුක හේෂාන් (කඩුලු රකින්නා), රොමේෂ් සුරංග, විශ්ව රාජපක්ෂ, පූර්ණ කල්හාර, සලිඳු පතිරණ, සුදාර දක්ෂිණ සහ ගයන කහවිටි.

Sebastianites C & AC කණ්ඩායම

 

මාලිංග සුරප්පුලිගේ (නායක), සංජුල බණ්ඩාර, මනුප මන්මිත, රශීඩ් නායන්, චමිඳු පෙරේරා, රුසිරු විලෝචන (කඩුලු රකින්නා), එරංග ජයකොඩිගේ, දිනෙත් සමරවීර, සුතර්සන් සුබර්නන්, ශනෙල්කර් ද සිල්වා සහ හෂාන් සංදීප.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Leo CC කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණක් ලබා සිටිය දී දැවී යන අතර ඊට පසුව කඩුල්ලේ දී පන්දු 56ක දී ලකුණු 93ක සබඳතාවක් එක් කිරීමට ප්‍රසාද් අසංක සහ නෙත්ම කරුණාරත්න සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ප්‍රසාද් අසංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

නෙත්ම කරුණාරත්න Leo CC ඉනිම අවසන් වෙද්දී පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා.

ඊට අමතර ව පූර්ණ කල්හාර පන්දු 8ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිනෙත් සමරවීර ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සුතර්සන් සුබර්නන් සහ මාලිංග සුරප්පුලිගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Sebastianites C & AC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රශීඩ් නායන්. ඔහු පන්දු 16ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.

ඊට අමතර ව රුසිරු විලෝචන පන්දු 15ක දී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සුදාර දක්ෂිණ ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ප්‍රසාද් අසංක කඩුලු 2ක් ද, ගයන කහවිට, විශ්ව රාජපක්ෂ, රොමේෂ් සුරංග සහ සුපුන් ඩිල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Leo CC – කඩුලු 6ක් දැවී 192 (20.0)ප්‍රසාද් අසංක 65, නෙත්ම කරුණාරත්න 57, පූර්ණ කල්හාර 19, දිනෙත් සමරවීර 3/45
  • Sebastianites C & AC – සියලුම දෙනා දැවී 133 (15.4)රශීඩ් නායන් 33, රුසිරු විලෝචන 27, ප්‍රසාද් අසංක 2/25, සුදාර දක්ෂිණ 4/13

Leo CC කණ්ඩායමට ලකුණු 59ක ජයක්.

2 වැනි අවසන් පූර්ව තරගය, Negombo CC සහ Army SC අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Army SC

මෙම තරගය පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මත පන්දුවාර 15කට සිමා වූ අතර, ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Army SC කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Negombo CC ඉනිමට ද  වර්ෂාවෙන් බාදා එල්ල වූවා.

ඒ අනුව තරගය පන්දුවාර 10කට සීමා වූ අතර ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණයට ලකුණු 109ක ඉලක්කයක් ලැබුණා. නමුත් තරගය අවසන් වෙද්දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 81ක් පමණයි.

Army SCකණ්ඩායම

 

ශෙහඳ සොයිසා (නායක), අශාන් සුදර්ශන (කඩුලු රකින්නා), ජනක සම්පත්, මනුශ්ක සමිත්, අසේල ගුණරත්න, තිසර පෙරේරා, රවිඳු විජේවර්ධන, ක්‍රිශේන් අපෝන්සු, ලිලාන් රංගන, පැතුම් මලිත සහ සරත් මදුශ්ක.

Negombo CC කණ්ඩායම

 

දිමුත් සඳරුවන් (නායක), මොහොමඩ් මුර්ශාද්, අමිත සංදීප, පසිඳු තිරිමාදුර (කඩුලු රකින්නා), සචිරු කුලසූරිය, රිශ්ම අමරසිංහ, වරුන් ඉමේෂාන්, ශෙහාන් ප්‍රමෝද්, හංසජ හිරුණ, චනුර ප්‍රනාන්දු සහ ඇන්ජලෝ ජයසිංහ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Army SC ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු අශාන් සුදර්ශන. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

ඊට අමතර ව මනුශ්ක සමිත් පන්දු 16ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. 2 වැනි කඩුල්ලට එක් වූ ඔවුන් දෙදෙනා පන්දු 31ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන්ට අමතර ව අසේල ගුණරත්න පන්දු 13ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ද සහ තිසර පෙරේරා පන්දු 13ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශෙහාන් ප්‍රමෝද් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව වරුන් ඉමේශාන්, හංසජ හිරුණ සහ චනුර ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

Negombo CC ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක දිමුත් සඳරුවන්. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නවා.

ඊට අමතර ව සචිරු කුලසූරිය පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලිලාන් රංගන, සරත් මදුශ්ක, පැතුම් මලිත සහ ශෙහඳ සොයිසා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Army SC – කඩුලු 6ක් දැවී 138 (15.0) අශාන් සුදර්ශන 47, මනුශ්ක සමිත් 34, අසේල ගුණරත්න 19, ශෙහාන් ප්‍රමෝද් 3/24
  • Negombo CC – කඩුලු 5ක් දැවී 81 (10.0)සචිරු කුලසූරිය 21, දිමුත් සඳරුවන් නොදැවී 35, ලිලාන් රංගන 1/08

Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 27ක ජයක්.

Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<