පළමු T20 තරගයේ ජය එංගලන්තයට

Sri Lanka tour of England 2026

1
Sri Lanka tour of England 2026

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ (15දා) සමත් වෙනවා.

Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 254ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ තවත් පන්දු 6ක් ද ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 135ක් පමණයි.

>>ශ්‍රී ලංකා – එංගලන්ත T20 දශක 2ක මතක<<

ශ්‍රී ලංකා කණ්ඩායම

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර (කඩුලු රකින්නා), ලහිරු උදාර, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තික්ෂණ, දුෂ්මන්ත චමීර සහ එශාන් මාලිංග.

එංගලන්ත කණ්ඩායම

Harry Brook (නායක), Jos Buttler (කඩුලු රකින්නා), Aneurin Donald, Tom Banton, Will Jacks, Jordan Cox, Jamie Overton, Liam Dawson, Adil Rashid, Josh Tongue, සහ Sonny Baker.

එංගලන්ත ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 254 දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. ඊට පෙර මෙම ස්ථානයේ රැඳී තිබූ වාර්තාව වූයේ 2014 වසරේ Chattogram හි දී එංගලන්තය විසින් ම කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 190යි.

ඔවුන්ගේ මෙම වාර්තාගත ඉනිමේ දී නායක Harry Brook පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගන්නවා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 2 වැනි ශතකය මෙන් ම ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

ඔහුගේ එම ඉනිම තුළ දී Jos Buttler හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 128ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Jos Buttler පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා. එය ඔහුගේ 161ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 29 වැනි අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනාට අමතර ව Will Jacks පන්දු 12ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, එශාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ. මැද පෙළින් පිටියට පිවිසි ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඊට අමතර ව දසුන් ශානක පන්දු 14ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී එශාන් මාලිංග පන්දු 5ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා ඉනිමට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් එක් කරන්නේ පැතුම් නිස්සංක (12), කමිල් මිෂාර (10) සහ නායක චරිත් අසලංක (10) පමණයි. අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූවා.

කඩුලු දවා ගැනීමේ දී Sonny Baker ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Jamie Overton සහ Liam Dawson කඩුලු ද්විත්වය බැගින් ද, Will Jacks, Josh Tongue සහ Adil Rashid කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එංගලන්තය – කඩුලු 4ක් දැවී 254 (20.0) Jos Buttler 80, Harry Brook නොදැවී 114, Will Jacks 21

 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 135 (19.0) දසුන් ශානක 24, දුනිත් වෙල්ලාලගේ 33, Sonny Baker 3/12, Liam Dawson 2/23, Jamie Overton 2/20

 

එංගලන්ත කණ්ඩායමට ලකුණු 119ක ජයක්.

  • තරගයේ වීරයා – Harry Brook (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මේ මස 17 වැනිදා, රාත්‍රීයේ Cardiff හී Sophia Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<