තෝමසුවන් පරාජය කළ රාජකීයයන් 17න් පහළ ශූරයන් වෙයි

SLSCA U17 Division 1 Tournament 2026

2
SLSCA U17 Division 1 Tournament 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.  

>>නිල් මහා සටන් සගයන්ගේ 17න් පහළ අවසන් මහා තරගය<<

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී (11දා) අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 133ක් පමණයි. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට මෙම තරගයෙන් ලකුණු 72ක ජයග්‍රහණයක් හිමි වුණා.

ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම බවට ද පත් වෙමිනුයි.

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

දුශේන් උඩවෙළ (නායක), සවිනු ගමගේ, මුදිත ගුණසේකර, නිතේශ් ජයසිංහ, රනුද රණසිංහ (කඩුලු රකින්නා), මනුත් දසනායක,  මහිරු කොඩිතුවක්කු, ජවීත් පෙරේරා, චනිතු කංකානම්ගේ, සඳුල් අබේවර්ධන සහ ගගන් ගමගේ.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

රෙශෝන් සොලමන්ස් (නායක), මෙතුක ගුණරත්න, ශවෙන් ප්‍රනාන්දු, සරිඳු සුගතදාස, විහස් පීරිස්, තිහස් කකුලන්දර, ස්ටෙවෝන් පීරිස් (කඩුලු රකින්නා), කෙවින් ගුණසීල, තරුල් ජයසූරිය, කුශේන් පෙරේරා, ශෙනුක් ප්‍රනාන්දු.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු මනුත් දසනායක පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 92ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු මුදිත් ගුණසේකර පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ද සහ දුශේන් උඩවෙල පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 10ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් ද්විත්වයක ඉනිම් ගොඩ නැගීමට ප්‍රතිවාදීන් ඉඩ නොදුන් අතර එහි දී කඩුලු දවා ගැනීමේ දී ශෙනුක් ප්‍රනාන්දු සහ තරුල් ජයසූරිය කඩුලු ද්විත්වය බැගින් ද, රෙශෝන් සොලමන්ස්, විහස් පීරිස් සහ කුශේන් පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක රෙශෝන් සොලමන්ස්. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව තරුල් ජයසූරිය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ තිහස් කකුලන්දර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.

සාන්ත තෝමස් ඉනිමේ ද පිතිකරුවෝ 7 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ මහිරු කොඩිතුවක්කු ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා.

ඊට අමතර ව ගගන් ගමගේ ලකුණු 42කට කඩුලු 2ක් ද, නිතේශ් ජයසිංහ සහ දුශේන් උඩවෙල කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 205 (50.0) මුදිත් ගුණසේකර 38, මනුත් දසනායක නොදැවී 92, තරුල් ජයසූරිය 2/61, ශෙනුක් ප්‍රනාන්දු 2/20

 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 133 (36.5) රෙශොන් සොලමන්ස් 38, තරුන් ජයසූරිය 29, මහිරු කොඩිතුවක්කු 5/32, ගගන් ගමගේ 2/42

 

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 72ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<