ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

Women’s T20 Asia Cup 2026

1

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 3 වැනි සහ අවසන් තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  සමත් වෙනවා. ඒ අනුව ඔවුන් අපරාජිත කිරුළ ද රැක ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

බංග්ලාදේශය සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙර දින (6) පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.  

ශ්‍රී ලංකාවට එරෙහි ව එන Nigar ගේ බංග්ලාදේශ බලඇණිය

මෙම තරගයේ දී දෙපිල අතර උරගා බැලුණ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 114ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 6ක් දැවී තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ මෙවර තරගාවලියට පළමු වරට විශ්මි ගුණරත්න තරගයට කැඳවමින්. ඇය කණ්ඩායමට පැමිණෙද්දී කාව්‍යා කාවින්දිට තම ස්ථානය අහිමි වුණා.  

බංග්ලාදේශය මෙම තරගය හා එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව ඔවුන් 17 වැනි වියේ පසුවෙන Farjana Easmin ට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමිකර දෙමින් තරගයට එක් කරගෙන තිබූ අතර ඊට අමතර ව Sultana Khatun ද එක් කරගෙන තිබුණා. 

ඒ වෙනුවට පෙර තරගය හා එක් වූ Rabeya Khan සහ Sanjida Akter Meghla විවේක ගන්වා තිබුණා.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝදා සහ චේතනා විමුක්ති. 

 

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම  

Nigar Sultana (නායිකාව සහ කඩුලු රකින්නිය), Juairiya Ferdous, Dilara Akter, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Fahima Khatun, Nahida Akter, Marufa Akter, Farjana Easmin සහ Sultana Khatun 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉදිරි පෙළ පිතිකාරිනියෝ සමත් වෙනවා. ඒ අතුරින් වැඩිම ලකුණුලාභිනිය වූයේ Sobhana Mostary. ඇය ඉනිමේ සිවු වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.  

ඒ වෙද්දී ඇය Shorna Akter (9) හා එක් ව එම කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 41ක සබඳතාවක් ද එක් කර තිබුණා.  

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනීයන් වූ Dilara Akter පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ Juairiya Ferdous පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා.  

මැද පෙළින් පිටියට පිවිසි Fahima Khatun ද පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත් අතර අනෙක් සියලු ක්‍රීඩිකාවන්ගේ ලකුණු ගිණුම් තනි ඉලක්කමකට සීමා වුණා.  

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝදා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව සුගන්දිකා කුමාරි ලකුණු 22කට කඩුලු 2ක් ද, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ඉමේෂා දුලානි සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද ඔවුන්ට තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට හැකි වූයේ නැහැ. ඉනිමේ යැවුණ පළමු පන්දු වාරයේ අවසන් පන්දුවේ දී චමරි අතපත්තු දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 7ක් තිබූ අතර චමරි අතපත්තු ලබා සිටියේ ලකුණක් පමණයි.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 14ක් එක් වෙද්දී ඉමේෂා දුලානි, ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව සංජනා කාවින්දි පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 9කට ද සහ විශ්මි ගුණරත්න පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 9කට දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ ගමන් මඟ අවදානම් සහගත වූවා.  

ක්‍රියාත්මක වෙමින් තිබූ 10 වැනි පන්දුවාරයේ දී කවීෂා දිල්හාරි (3) ද දැවී යෑමත් සමඟින් එම තත්ත්වය තවත් තීව්‍ර වුණා. ශ්‍රී ලංකාව වැටී සිටි එම තත්ත්වයෙන් මුදවා ගන්නේ 6 වැනි කඩුල්ල හා එක් වූ හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා විසිනුයි 

ඔවුන් දෙදෙනා විසින් එම කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 38ක සබඳතාවක් එක් කරද්දී එතෙක් බංග්ලාදේශය සතු ව තිබූ තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත නතු වුණා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ නිලක්ෂිකා සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යද්දී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා. 

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 48ක් ද සහ කෞෂිනි නුත්‍යාංගනා පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.  

ඒ වෙද්දී ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට පන්දු 18ක දී නොදැවුණ ලකුණු 33ක් සබඳතාවක් ද එක් කර තිබුණා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් ආරම්භක මඳ වේග පන්දු යැවූ Marufa Akter ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Sultana Khatun සහ Ritu Moni කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 114 (20.0) Dilara Akter 26,  Sobhana Mostary 34, සුගන්දිකා කුමාරි 2/22, චමුදි ප්‍රබෝදා 3/21
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 115 (19.2) හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48, නිලක්ෂිකා සිල්වා 18, Marufa Akter 3/21

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  

තරගයේ වීරයා – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව) 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<