ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට Baduraliya SC කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරියන් බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ ද්විත්වයකින් එක් වූ අතර Panadura SC සහ Army SC කණ්ඩායම් A කාණ්ඩයෙන් පළමු ස්ථාන ද්විත්වයට පත් වෙමින් ද සහ Baduraliya SC සහ Air Force SC කණ්ඩායම් B කාණ්ඩයෙන් පළමු ස්ථාන ද්විත්වයට පත් වෙමින් ද අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව පැවැති අවසන් පූර්ව තරගවල දී Panadura SC කණ්ඩායම Air Force SC කණ්ඩායමට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ද සහ Baduraliya SC කණ්ඩායම Army SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
තරග 23කින් යුත් මෙවර තරගාවලියේ දී කඩුලු 350ක් දැවී යද්දී ලකුණු 6173ක් ලබා ගැනීමට තරගාවලියට එක් වූ ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අතර ශතක ත්‍රිත්වයක් සහ අර්ධ ශතක 16ක් ද එක් වෙන අතර කඩුලු 5කට වැඩි දවා ගැනීම් 5ක් ද වාර්තා වූවා.
අවසන් මහා තරගයේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – ශෙහාරා ඉඳුවරී (Baduraliya SC)
දකුණතින් පිට දඟ පන්දු යැවූ ශෙහාරා ඉඳුවරී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වෙන්නේ අවසන් මහා තරගය ඇතුළු තරග 4ක දී කඩුලු 17ක් දවා ගනිමින් පෑ දක්ෂතාත් සමඟිනුයි. ඇය තරගාවලිය නිමා කරන්නේ වැඩිම කඩුලුලාභිනියන් අතර 2 වැනි ස්ථානයට පත් වෙමින්.
අවසන් මහා තරගයේ දී ඇය ලකුණු 25කට කඩුලු 6ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් අසරණ කිරීම හේතුවෙන් එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානයට පාත්‍ර වෙනවා.
මෙවර තරගාවලියේ ඇය ගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු වාර 6.5ක් යවමින් නිලකුණු පන්දු වාර ද්විත්වයක් සමඟින් ලකුණු 10කට දවා ගත් කඩුලු 7යි. එහි දී ඇය කඩුලු ත්‍රිත්වයක් ද දවා ගැනීමට සමත් වෙන අතර එය වාර්තා කරනු ලැබූ පන්දු වාරයේ දී තවත් කඩුල්ලක් දවා ගනිමින් එක් පන්දුවාරයක දී කඩුලු 4ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට ද සමත් වෙනවා.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ශෙහාරා ඉඳුවරී තවමත් 18 වැනි වියේ පසුවෙන ක්‍රීඩිකාවක් වන අතර ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර තිබෙන ක්‍රීඩිකාවක්.
| තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නියන් 5 දෙනා | |||||||||
| Player | Team | M | Over | Runs | W | Best | 4w | 5w | |
| 1 | මල්කි මදාරා | Air Force SC | 5 | 39.5 | 107 | 18 | 6/20 | 2 | 1 |
| 2 | ශෙහාරා ඉඳුවරී | Baduraliya SC | 4 | 30.5 | 97 | 17 | 7/10 | 0 | 2 |
| 3 | සඳනි ද සිල්වා | Army SC | 5 | 44.0 | 129 | 10 | 3/33 | 0 | 0 |
| 4 | කවීෂා දිල්හාරි | Baduraliya SC | 4 | 28.0 | 59 | 9 | 4/24 | 1 | 0 |
| 5 | ඉනෝකා රණවීර | Navy SC | 4 | 34.0 | 128 | 9 | 3/34 | 0 | 0 |
ලැයිස්තුවට එක් වූ මෙම 5 දෙනාට අමතර ව තවත් කඩුලු 9ක් බැගින් දවා ගනිමින් සම දක්ෂතා දැක් වූ පන්දු යවන්නියන් දෙදෙනෙක් ද සිටිනවා. ඒ Panadura SC කණ්ඩායමේ දේවගී ජෙගනාදන් සහ එම කණ්ඩායමේ ම ප්‍රමුදි මෙත්සරා යන දෙදෙනායි.
තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – නිලක්ෂිකා සිල්වා (Panadura SC)
මෙවර තරගාවලියේ දක්ෂත ම පිතිකාරිනිය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීය පිතිකාරිනියක් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිමින් Panadura SC කණ්ඩායම නියෝජනය කළ නිලක්ෂිකා සිල්වා.
ඇය මෙම තරගාවලිය අවසන් කරන්නේ තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 266ක් ලබා ගනිමිනුයි. ඊට Colts CC කණ්ඩායමට එරෙහි ව පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 120ක් ද, Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 78ක් ද සහ CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් ද සමඟින් ලබා ගත් ලකුණු 58ක් ද තිබෙනවා.
මේ දීර්ඝ ඉනිම් සමඟින් ඇය ලබා ගත් ලකුණු වල තරගයක සාමාන්‍ය 133.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඇය සමත් වූවා.
මීට අමතර ව ඇය විශ්මි ගුණරත්න හා එක් ව තරගාවලියේ වැඩිම හයේ පහර (3) ලබා ගත් ක්‍රීඩිකාව ලෙසත් මෙන් ම විශ්මි ගුණරත්න සහ සුමුදු නිසංසලා හා එක් ව වැඩිම හතරේ පහර (26) ලබා ගත් ක්‍රීඩිකාව ලෙසත් එකී ලැයිස්තුවලට ඇතුලත් වුණා.
එමෙන් ම ඇය තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභී පිතිකාරිනයන් අතර සම අසුන් ගැනීමට සමත් වෙනවා. ඇය මෙම තරගාවලියේ දී අර්ධ ශතක ද්විත්වයක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව Navy SC කණ්ඩායමේ හර්ෂිකා සමරවික්‍රම සහ Baduraliya CC කණ්ඩායමේ සුමුදු නිසංසලා ද අර්ධ ශතක ද්විත්වය බැගින් ලබා ගන්නවා.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | In | NO | Runs | Ave | HS | 100 | 50 | |
| 1 | නිලක්ෂිකා සිල්වා | Panadura SC | 4 | 4 | 2 | 266 | 133.0 | 120* | 1 | 2 |
| 2 | සුමුදු නිසංසලා | Baduraliya CC | 6 | 6 | 2 | 219 | 54.75 | 77 | 0 | 2 |
| 3 | විශ්මි ගුණරත්න | CCC | 3 | 3 | 0 | 216 | 72.0 | 132 | 1 | 1 |
| 4 | හර්ෂිතා සමරවික්‍රම | Navy SC | 4 | 4 | 1 | 187 | 62.33 | 87 | 0 | 2 |
| 5 | ඉමල්කා මෙන්ඩිස් | Army SC | 5 | 5 | 1 | 153 | 38.25 | 48* | 0 | 0 |
තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකාරිනියන් අතුරින් තරගාවලියේ හොඳම ඉනිම වාර්තා කිරීමේ ගෞරවය CCC කණ්ඩායම නියෝජනය කළ විශ්මි ගුණරත්න සතු කර ගන්නවා. එහි දී ඇය Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 132ක් ලබා ගත්තා.
ඇයට අමතර ව Baduraliya CC කණ්ඩායම නියෝජනය කළ කවීෂා දිල්හාරි ද තරගාවලියේ ශතකලාභී ලැයිස්තුවට එක් වුණා. ඇය මෙම දක්ෂතවා සිදු කරන්නේ ACE Capital CC කණ්ඩායමට එරෙහිවයි.
එහි දී ඇය පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ශතකය ලකුණකින් අහිමිකර ගත් තරගාවලියේ එක ම ක්‍රීඩිකාව බවට Baduraliya CC කණ්ඩායමේ ඉමේෂා දුලානි පත් වුණා. ඇය Chilaw Marian CC කණ්ඩායම හමුවේ පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 99ක් ලබා සිටිය දී දැවී ගියා.
- ශෙහාරි කඩුලු 7ක් දවා ගනීද්දී විශ්මි ශතකයක් ලබා ගනී
- ඉමේෂා සහ මල්කි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩිකාවන් වෙයි
තරගාවලියේ වටිනා ම ක්‍රීඩිකාව – මල්කි මදාරා (Air Force SC)
තරගාවලියේ වටිනා ම ක්‍රීඩිකාව බවට පත් Air Force SC කණ්ඩායමේ මල්කි මදාරා තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය ද වෙනවා. ඇය තමන් සහභාගී වූ තරග 5 දී කඩුලු 18ක් ලබා ගැනීමට සමත් වෙන්නේ ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථාවක් සහ කඩුලු 4කට වැඩියෙන් ලබා ගත් අවස්ථා ද්විත්වයක් ද වාර්තා කරමිනුයි.
දකුණතින් මඳ වේග පන්දු යවන ඇය, මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 20කට දවා ගත් කඩුලු 6යි.
ඊට අමතර ව ඇය Chilaw Marian CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 14කට කඩුලු 4ක් සහ Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 36කට කඩුලු 4ක් ද දවා ගන්නවා.
ඇය පිතිකාරිනියක ලෙසින් ලබා ගන්නේ ඉනිම 4ක දී ලකුණු 55ක් පමණයි. ඒ අතර ඇය ගේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ 24ක්.
මල්කි මදාරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩිකාවක්.
තරගාවලියේ සුවිශේෂී කඩඉම්
318 : තරගාවලියේ ඉනිමක වැඩි ම ලකුණු වාර්තා කරන්නේ Baduraliya CC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Chilaw Marian CC කණ්ඩායමට එරෙහි ව මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
49 : තරගාවලියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම වෙන්නේ Colts CC කණ්ඩායමයි. ඔවුන් මෙම අවාසනාවන්ත ඉනිම ක්‍රීඩා කරන්නේ Navy SC කණ්ඩායම හමුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී යි.
476 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගන්නා ලද වැඩිම ලකුණු වාර්තා කරන්නේ CCC සහ Panadura SC කණ්ඩායම් ද්විත්වයයි. පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයෙන් CCC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 237ක් ද සහ Panadura SC කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ද ලබා ගන්නවා.
244 Runs : තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම වෙන්නේ Baduraliya CC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Chilaw Marian CC කණ්ඩායමට එරෙහි ව මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















