ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 198ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ 2026 වසරේ ශූරයන් බවට පත් වුණා. ඔවුන් මෙම ශූරතාව දිනා ගන්නේ තරගාවලියේ අපරාජිත ව සිටීමින් වීම ද විශේෂත්වයක්.
>>ගාල්ල සහ කොළඹ දකුණ අනුරාධපුරයේ දී හමුවෙන අවසන් තරගය
අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී අද (29) නිමා වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 99ක් පමණයි.
ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
සඳරු මල්ශාන් (නායක), හිරුන් මතීශ, ලසිර ලක්දිනු, විමුක්ති හේරත්, ගෙසඳු බිසස්, මානිත රාජපක්ෂ, යොමිරු සස්වින් (කඩුලු රකින්නා), තියෝන් හේලික, චෙනුල් මින්ලක, රවීන් සචින්ත සහ ගයුක කවිශ්ක.
කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, මියුරු බණ්ඩාර, දුශේන් උඩවෙල, රෙශාන් සොලමන්ස්, චෙනුක දොඩංගොඩ, මහිරු කොඩිතුවක්කු, සනුග දුල්මික, අදීශ ලක්ශාන්, තාරුක සමින්ජිත සහ මෙතුක ප්‍රනාන්දු.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. එසේ වූවත් එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් එක් කිරීමට ඔවුන් සමත් වෙනවා.
කොළඹ දකුණ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 50ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව කඩුල්ලට එක් වූ රෙශාන් සොලමන්ස් සහ නායක ස්ටෙවෝන් පීරීස් එක් ව පන්දු 128ක දී ලකුණු 132ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වූ රෙශාන් සොලමන්ස්ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.
ස්ටෙවෝන් පීරිස් ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා. ඔහු එවර මහිරු කොඩිතුවක්කු හා එක් ව එම කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 47ක සබඳතාවක් එක් කරනවා.
මහිරු කොඩිතුවක්කු, කොළඹ දකුණ ඉනිම අවසන් වෙද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චෙනුල් මින්ලක, රවීන් සචින්ත සහ මානිත රාජපක්ෂ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව සඳරු මල්ශාන් කඩුල්ලක් දවා ගත්තා.
- ගාල්ල සහ කොළඹ දකුණ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනී
- කොළඹ දකුණ අපරාජිතව පළමු වටය අවසන් කරයි
- ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං
- නිල් මහා සටන් සඟයෝ අවසන් මහා තරගයට හමුවෙයි
අසාර්ථක ආරම්භයකින් යුත් ගාලු ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 50ක් වෙද්දී දවා ගැනීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ඒ වෙද්දී ගාලු ඉනිමේ ක්‍රීඩකයන් තිදෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙක් ලකුණු 10ක් බැගින් ද සහ අනෙක් පිතිකරු ලකුණු 13කට ද දැවී ගියා.
ඒ තත්ත්වයෙන් යුත් ගාලු ඉනිමේ සාර්ථක ම කඩුලු සබඳතාව උදා වෙන්නේ 7 වැනි කඩුල්ල වෙනුවෙනුයි. ඊට එක් වූයේ යොමිරු සස්වින් සහ තියෝන් හේලික. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා.
එහි දී යොමිරු සස්වින් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ තියෝන් හේලික පන්දු 41ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා සිටියා.
ගාලු ඉනිමේ පසුපෙළින් පිටියට පිවිසි අනෙක් පිතිකරුවන් තිදෙනාගේ ඉනිම් ද තනි ඉලක්කමකට සීමා වූ අතර, කඩුලු දවා ගැනීමේ දී සනුග දුල්මික ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අදීශ ලක්ශාන් සහ මහිරු කොඩිතුවක්කු කඩුලු ද්විත්වය බැගින් ද, දුශේන් උඩවෙල සහ මෙතුම් ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 297 (50.0)මෙතුක ගුණරත්න 26, රෙශාන් සොලමන්ස් 87, ස්ටෙවෝන් පීරිස් 77, මහිරු කොඩිතුවක්කු නොදැවී 50, රවීන් සචින්ත 2/49, චෙනුල් මින්ලක 2/40, මානිත රාජපක්ෂ 2/56
- ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 99 (27.1)යොමිරු සස්වින් 22, තියෝන් හේලික 20, අදීශ ලක්ශාන් 2/12, මහිරු කොඩිතුවක්කු 2/30, සනුග දුල්මික 3/11
කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 198ක ජයක්.
අවසන් මහා තරගයේ වීරයා – රෙශාන් සොලමන්ස් (කොළඹ දකුණ කණ්ඩායම)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අදීශ ලක්ශාන් (කොළඹ දකුණ කණ්ඩායම)
තරගාවලියේ දක්ෂතම පිතිකරු – සඳරු මල්ශාන් (ගාල්ල කණ්ඩායම)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ශෂිත් බණ්ඩාර (මහනුවර කණ්ඩායම)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















