පළමු තරගයේ ජය ඉන්දියාවට

India tour of Sri Lanka

5

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ අද (19) සමත් වෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 165ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.  

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 462ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 284ක් පමණයි. ඉන් අනතුරු ව ඉන්දීය ක්‍රීඩකයෝ තවත් ලකුණු 178ක් ඉදිරියෙන් පසුවෙමින් නැවත පන්දුවට පහර දීමට පිවිසි අතර එවර ඔවුන්ගේ ඉනිම ලකුණු 193කට සීමා වෙනවා. 

ඒ අනුව පෙර දිනයේ දී ඔවුන් ශ්‍රී ලංකාවට තණතිල්ල බාර දෙන්නේ ලකුණු 371ක් ඉදිරියෙන් සිටිමින්. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දවස ආරම්භ කරන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියදීයි.  

ඒ වෙද්දී නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 31ක් ද සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා ම අද පෙරවරුවේ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.  

දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඉනිම හැර යන්නේ ධනංජය ද සිල්වා. ඔහු 5 වැනි කඩුල්ලට ඉනිම හැර යද්දී පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා. ධනංජය ද සිල්වා අද දවසේ දී ලබා ගන්නේ තම ටෙස්ට් තරග දිවියේ 20 වැනි අර්ධ ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කට දැවී යන අතර පෙර ඉනිමේ දී ශතකලාභී සොනාල් දිනූෂ ට 7 වැනි කඩුල්ලට ඉනිම හැර යෑමට සිදු වෙනවා. ඔහු දැවී යද්දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.  

සොනාල් දිනූෂ, කේශර නුවන්ත හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ද එක් කරනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 5 තුළ ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු කුමාර ද ලකුණු නොලබා ම දැවී යනවා.  

කේශර නුවන්ත ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 69ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටි අතර ඒ වෙද්දී අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.  

 කඩුලු දවා ගැනීමේ දී තම 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ 24 වැනි වියේ පසු වූ වමතින් දඟ පන්දු යැවූ Manav Suthar ලකුණු 55කට කඩුලු 6ක් දවා ගන්නවා. පළමු ඉනිමේ දී ද ලකුණු 76කට කඩුලු 4ක් දවා ගන්නා ඔහු තරගය අවසන් කරද්දී ලකුණු 131කට කඩුලු 10ක් දවා ගන්නවා. එය ඔහු ටෙස්ට් තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් පළමු අවස්ථාවයි.  

ඔහුට අමතර ව Prasidh Krishna ලකුණු 16කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර Mohammed Siraj සහ Ravindra Jadeja අතර කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දියාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 462 (116.4) Yashasvi Jaiswal 32, KL Rahul 82, Devdutt Padikkal 167, Rishabh Pant 39, Dhruv Jurel 51, Manav Suthar 24, අසිත ප්‍රනාන්දු 2/63, කේශර නුවන්ත 3/175, ප්‍රභාත් ජයසූරිය 4/109
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (79.4) ලහිරු උදාර 27, ධනංජය ද සිල්වා 21, සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, Manav Suthar 4/76, Ravindra Jadeja 3/57
  • ඉන්දියාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 193 (48.5) KL Rahul 35, Devdutt Padikkal 44, Rishabh Pant 66, අසිත ප්‍රනාන්දු 4/31, ප්‍රභාත් ජයසූරිය 3/43, ලහිරු කුමාර 2/28
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 206 (77.4) ධනංජය ද සිල්වා 59, සොනාල් දිනූෂ 84, කේශර නුවන්ත 20, Manav Suthar 6/55, Prasidh Krishna 2/16

ඉන්දියාවට ලකුණු 165ක ජයක් 

තරගයේ වීරයා – Devdutt Padikkal (ඉන්දියාව) 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා සිට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.   

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<