Ronaldo කඳුළු පිරි දෙනෙතින් යුතුව ලෝක කුසලානයට සමු දෙයි!

2

2026 පාපන්දු ලෝක කුසලානයේ 26 වැනි දිනයට අදාළ ව තරග ද්විත්වයක් අද උදෑසන ක්‍රියාත්මක වුනා. මෙහි දී බෙල්ජියම සහ ස්පාඤ්ඤය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

පෘතුගාලය සහ ස්පාඤ්ඤය

මෙවර තරගාවලියේ තවත් එක් සුවිශේෂී තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. ලෝකයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන Cristiano Ronaldo සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට මෙවර පෘතුගාලය සමඟින් ප්‍රවිෂ්ට වුනා. ඒ අනුව සිය ලෝක කුසලාන සිහිනය සඵල කර ගැනීමට නම් මෙම තරගයෙ ස්පාඤ්ඤය පරාජය කිරීම අනිවාර්යය වූ අතර, එහි දී යොවුන් ක්‍රීඩක Lamin Yamal ප්‍රමුඛ ස්පාඤ්ඤ කණ්ඩායමෙන් පෘතුගාලයට දැඩි බාධාවක් එල්ල වුනා.

තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ නමුත් ඒවා සාර්ථක වුනේ නැහැ. මේ අතර Ronaldo හට පන්දුව සමඟ වැඩි වේලා ක්‍රීඩාවේ යෙදෙමින් ගෝල වාර්තා කිරීමට අවකාශය නොලැබීමත් සුවිශේෂී කරුණක්.

මෙම තරගය තුළ අවස්ථා 19ක දී පමණයි පන්දුව හා සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව හිමි වුනේ. එමෙන්ම ඔහු පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරග 09 තුළ කිසිදු Dribble එකකට උත්සාහ කර නොමැති අතර, ඔහුගේ අවසන් තරග 15 තුළ එකදු Dribble එකක් හෝ සාර්ථක කර ගැනීමට ද අසමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් Ronaldo ප්‍රමුඛ පෘතුගාලයේ අසාර්ථක වීම මත, තරගයේ වාසිය තහවුරු කර ගත් ස්පාඤ්ඤ ක්‍රීඩක Mikel Merino විසින් තරගයේ 90+1 මිනිත්තුව තුළ ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

ඒත් සමඟින් ම ස්පාඤ්ඤය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුඉ අතර, පෘතුගාලයට තරගාවලියෙන් ඉවතට යාමට සිදු වුනා. මේත් සමඟම Cristiano Ronaldo ද කඳුළු පිරි දෙනෙතින් යුතුව පිටියට සමු දෙන ආකාරය දක්නට ලැබුණා.

ඇමරිකා එක්සත් ජනපදය සහ බෙල්ජියම

මෙම තරගයේ දී ඇමරිකා එක්සත් ජනපදය සිය රටේ දී ම සම්පූර්ණයෙන්ම අන්ත අසරණ කර දැමීමට බෙල්ජියමට හැකියාව ලැබුණා.

තරගයේ 09 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම සිය පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ 31 මිනිත්තුවේ දී ඇමරිකාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට Malik Tillman සමත් වුනා. නමුත් ඔවුන්ට එම සතුට සැමරීමට ඉඩ ලබා නොදුන් බෙල්ජියම් ක්‍රීඩක Charles De Ketelaere විසින් තරගයේ 33 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් ද නතර නොවූ බෙල්ජියම තරගයේ 57 සහ 90+3 මිනිත්තුවල දී තවත් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගාවලියේ කණ්ඩායම් 16 තරග වටයට අදාළ ව තවත් තරග ද්විත්වයක් මෙසේ අවසන් වන අතර, මෙම තරහ වටයේ අවසන් තරග ද්විත්වය අද සහ හෙට (08) ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

  • අද රාත්‍රි 9.30 – ආජන්ටිනාව සහ ඊජිප්තුව
  • හෙට අලුයම 1.30 – ස්විස්ටර්ලන්තය සහ කොලොම්බියාව

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>