කමිල් සහ පසිඳු බස්නාහිර පළාත් මධ්‍යමට ශූරතාව රැගෙන යයි

294

අනාගත ක්‍රිකට් ලොව පෙරළි කරන අංකුර ක්‍රීඩකයින් සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගිය ගමනේ අවසාන මහා තරගයේ දී බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයෝ ලකුණු 16කින් පරාජය කළ බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ 2018 වසරේ ශූරයන් බවට අද (23) පත්වුනා.

රවිඳු, කාවින්ද හා පසිඳු අර්ධ ශතක අතරට

සිංගර් ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ…

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් පමණයි.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක නිරත වූයේ වමත් පිතිකරු කමිල් මිෂාර සහ පසිඳු සූරියබණ්ඩාරයි. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් එක් කළා. එහි දී කමිල් මිෂාර පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර හයක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.

පසිඳු සූරියබණ්ඩාර එක් කළ ලකුණු සංඛ්‍යාව 56ක්. ඔහුගේ ඉනිම අවසන් වූයේ පන්දු 84ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟිනි.

ඊට ප්‍රථම දෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිල් මිෂාර සහ සිතාර හපුහින්න (15) එක්ව ලකුණු 45ක සබඳතාවක් ද එක් කළා.

පන්දු යැවීමේ දී අවිශ්ක තරිඳු කඩුලු 3ක් ලබා ගත් අතර මහේෂ් තීක්ෂණ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.

තෙවන ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) බාබඩෝස් හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක්…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයෝ තම පන්දුවාර 50 අවසානයේ දී ලබා ගත්තේ ලකුණු 209ක් පමණි. ෂෙහාන් ප්‍රනාන්දු සමඟින් නායක අශාන් ප්‍රනාන්දු ඉනිම ආරම්භ කළ ද පළමු පන්දුවාරයේ දී ම බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ පළමු කඩුල්ල කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

එය බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයන්ගේ අමන්දානන්දයට හේතු වූවද අශාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සමාස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 86ක් එක් කරමින් කණ්ඩායම ගෞරවනීය තැනකට ගෙන ඒමට මුල පිරුවා. නමුත් මොහොමඩ් සමාස් පන්දු 53ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියා.

අනතුරුව පන්දු 13ක දී තවත් කඩුලු 2ක් දවා ගනිමින් ලකුණු 88කට කඩුලු 8ක් ලෙසින් ලකුණු පුවරුව පරිවර්තනය කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම පන්දු යවන්නෝ සමත් වුනා. ඒ අතරට අශාන් ප්‍රනාන්දු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් රැස් කළ ලකුණු 34ත් අයත් වුනා.

කඩුලු 6ක් දැවී ලකුණු 122ක් වූ ලකුණු පුවරුව නැවත ගොඩ නගනු ලැබුවේ අවිශ්ක තරිඳු සහ රවිඳු ප්‍රනාන්දු යි. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ ලකුණු සබඳතාව ලකුණු 53ක්. අවිශ්ක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ද, රවිඳු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

තරගයේ ජයග්‍රහණය දෙපිළට ම දෝලනය වෙද්දී නැවත පන්දු 12ක දී කඩුලු 3ක් දවා ගනිමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 182ක් බවට පත් කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ සමත් වුනා. එය බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයන්ගේ ඉනිමේ කඩා වැටීම බවට පත්වුනා.

අවසන් කඩුල්ලේ දී පසිඳු උස්හෙට්ටි (11*) සහ චාමික ගුණසේකර (16*) නොදැවී කඩුල්ලේ රැඳී සිටිය ද ඔවුන්ගේ ඉනිම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 6කින් අඩු වුනා.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන සොනාල් දිනූෂ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තා.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම; සියලුම දෙනා දැවී 225 (48.4) කාමිල් මිෂාර 72, පසිඳු සූරියබණ්ඩාර 56, අවිශ්ක පෙරේරා 30, අවිශ්ක තරිඳු 3/39, මහේෂ් තීක්ෂණ 2/47, රවිඳු ප්‍රනාන්දු 2/36

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම; කඩලු 9ක් දැවී 209 (50.0) අශාන් ප්‍රනාන්දු 34, මොහොමඩ් සමාස් 49, අවිශ්ක තරිඳු 32, රවිඳු ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 4/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<