එංගලන්තය 5 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ICC Women's T20 World Cup 2026  

3
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවෝ ද සමත් වුණා. ඒ පෙර දිනයේ (2) පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 40ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් පමණයි.

එංගලන්තය මෙවර තරගාවලියේ අපරාජිතව සිටිමින් මෙම කඩඉමට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වූ අතර ඔවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයට එක් වෙන 5 වැනි අවස්ථාවයි මේ.

ඔවුන් මීට පෙර 2009, 2012, 2014 සහ 2018 යන වසරවල දී අවසන් මහා තරග සුදුසුකම් ලබා ගත්තා. ඒ අතුරින් 2009 මංගල ලෝක කුසලාන ජයග්‍රාහීකාවන් වූ ඔවුන් ඊට පසු අවස්ථා ත්‍රිත්වයේ දි දිනා ගන්නේ අනු ශූරතාවයි. එම අවස්ථා ත්‍රිත්වයේ දී ම ඔවුන් අවසන් මහා තරගයේ දී පරාජයට පත් වෙන්නේ මෙවර අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ඕස්ට්‍රේලියාව හමුවේයි.

ඒ අනුව දෙරට ක්‍රීඩිකාවෝ මේ මස 5 වැනිදා London හී ‍ඓතිහාසික Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිව් වැනි වතාවටත් අවසන් මහා තරගයක දී එකිනෙකා හමු වීමට නියමිතයි.

>>ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී<<

  • 2 වැනි අවසන් පූර්ව තරගය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව, London හී Kennington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nat Sciver-Brunt (නායිකාව), Amy Jones (කඩුලු රකින්නිය), Danni Wyatt-Hodge, Alice Capsey, Heather Knight, Freya Kemp, Danielle Gibson, Charlotte Dean, Sophie Ecclestone, Linsey Smith සහ Lauren Bell

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Annerie Dercksen, Marizanne Kapp, Sune Luus, Nadine de Klerk, Chloe Tryon, Sinalo Jafta (කඩුලු රකින්නිය), Ayabonga Khaka, Shabnim Ismail සහ Nonkululeko Mlaba.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 23ක් තුළ දැවී යනවා. ඒ අතර Amy Jones (2), Danni Wyatt-Hodge (12) සහ Alice Capsey (1) සිටීම ඔවුන් දරාගත නොහැකි පාඩුවක් වෙනවා.

කෙසේ වෙතත් ඉන් අනතුරු ව කඩුල්ලට එක් වූ නායිකා Nat Sciver-Brunt සහ Heather Knight එක් ව කඩා වැටුණ එංගලන්ත ඉනිමට ශතක සබඳතාවක් එක් කරමින් තම  කණ්ඩායම ගොඩ ගත්තා. පන්දු 90කින් ලකුණු 133ක් එක් වූ එම සිව් වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Nat Sciver-Brunt ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඇය ඉනිම හැර යන විට පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා සිටියා. එය ඇය ගේ  මෙවර ලෝක කුසලාන තරගාවලියේ මංගල අර්ධ ශතකය වූ අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 19 වැනි අර්ධ ශතකයයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී ඉනිමේ 5 වැනි කඩුල්ලට Heather Knight දැවී යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියා. ඇය ද මෙවර තරගාවලියට එක් කළ පළමු අර්ධ ශතකය මෙය වූ අතර එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 10 වැනි අර්ධ ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී Nonkululeko Mlaba සහ Shabnim Ismail කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Marizanne Kapp කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ තරගයට සාර්ථකය ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි දී ආරම්භක පිතිකාරිනියන් ලෙසින් පිටියට එක් වූ නායිකා Laura Wolvaardt සහ Tazmin Brits එක් ව පළමු වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව ගිලි හී යන්නේ Laura Wolvaardt ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.

Tazmin Brits ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. මෙම අර්ධ ශතකය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 16 වැන්නයි.

දකුණු අප්‍රිකා ඉනිම අවසන් වන විට Nadine de Klerk පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටි අතර අනෙකුත් ක්‍රීඩිකාවන්ගෙන් එම රිද්මය ගිලි හී යනවා.

එහි දී වඩාත් දක්ෂතා දැක් වූ පන්දු යවන්නියන් වූයේ Lauren Bell සහ Charlie Dean. Lauren Bell ලකුණු 28කට කඩුලු 2ක් ද සහ Charlie Dean ලකුණු 31කට කඩුලු 2ක් බැගින් දවා ගන්නවා. ඊට අමතර ව Freya Kemp, Sophie Ecclestone සහ Linsey Smith කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 169 (20.0) Nat Sciver-Brunt 75, Heather Knight 58, Shabnim Ismail 2/31, Nonkululeko Mlaba 2/25
  • දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 129 (20.0) Tazmin Brits 51, Lauren Bell 2/28, Charlie Dean 2/31

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 40ක ජයක්.

තරගයේ වීරයා – Nat Sciver-Brunt (එංගලන්ත)

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<