ඇමරිකාව ඉදිරියට යද්දී හයිටි සහ තුර්කිය තරගාවලියෙන් ඉවත් වෙයි

FIFA 2026

9
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 09 වැනි දිනය අද (20) නිමාවට පත් වුනා.

අද දිනය තුළ තරග හතරක් ක්‍රියාත්මක වූ අතර, අද දිනයේ දී ලෝක කුසලානයේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ දෙවැනි කණ්ඩායම බවට පත් වීමට සත්කාරක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වීමත් විශේෂත්වයක්.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව

මෙම තරගයේ එකොළොස් වැනි මිනිත්තුවේ දී ඕස්ට්‍රේලියාව විසින් Own Goal එකක් වාර්තා කරමින් තරගය ඇමරිකාව දෙසට හැරවීමට සමත් වූ අතර, තරගයේ 43 වැනි මිනිත්තුවේ දී ඇමරිකාව විසින් සිය දෙවැනි ගෝලය ද වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

ඒත් සමඟින් ම ඇමරිකාව විසින් කණ්ඩායම් 32 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ජයත් සමඟ ඔවුන් 1930 වසරෙන් පසුව ලෝක කුසලාන තරග දෙකක් පිට පිටම ජය ගැනීමට සමත් වූ අවස්ථාව ද සනිටුහන් කළා.

එමෙන්ම මෙම තරගයේ දී වාර්තා වූ Own Goal එක ද සමඟ සමස්ත තරගාවලියේ Own Goal 07ක් වාර්තා වී ඇති අතර, මෙය දෙවැනි වන්නේ 2018 තරගාවලියේ දී වාර්තා වූ Own Goal 12 වාර්තාවට පමණයි.

ස්කොට්ලන්තය සහ මොරොක්කෝව

මෙම තරගයේ දෙවැනි මිනිත්තුවේ දී මොරොක්කෝව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට Ismael Saibari විසින් සමත් වුනා.

එතැනින් පසුව කණ්ඩායම් දෙකම එකදු ගෝලයක් හෝ වාර්තා නොකිරීම මත තරගයේ ජය මොරොක්කෝ කණ්ඩායමට හිමි වුනා.

මෙම තරගයේ දී ස්කොට්ලන්තය විසින් දැල ඉලක්ක කරමින් එකදු පහරක් හෝ එල්ල කිරීමට සමත් නොවූ අතර, ඔවුන් එවන් අවාසනාවන්ත තත්වයකට පත් වුනේ 1986 වසරෙන් පසුවයි.

එමෙන්ම මොරොක්කෝව විසින් මෙම තරගයේ දී වාර්තා කළ ගෝලය මෙතෙක් තරගාවලියේ වාර්තා වූ වේගවත් ම ගෝලය ලෙස ද වාර්තා අතරට එක් වුනා.

බ්‍රසීලය සහ හයිටි

මෙම තරගයේ 23 සහ 36 මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩක Matehus Cunha සමත් වූ අතර, මීට පෙර බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ තරග 24 තුළ දීම ඔහු වාර්තා කිරීමට සමත් වී තිබුණේ එක් ගෝලයක් පමණක් වීම විශේෂත්වයක්.

එමෙන්ම තරගයේ 43+3 මිනිත්තුවේ දී Vinicius Junior විසින් බ්‍රසීලය වෙනුවෙන් තෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ කණ්ඩායම් දෙකම තවදුරටත් ගෝල වාර්තා නොකළ අතර, ඒ අනුව තරගයෙන් බ්‍රසීල කණ්ඩායමට ජය හිමි වුනා.

ඒ අනුව මෙවර තරගාවලියෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට හයිටි දේශය පත් වුනා.

මෙම තරගයේ දී බ්‍රසීලය වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමඟින් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභීන් බවට පත් වීමට ද බ්‍රසීලයට හැකියාව ලැබුණු අතර, ඔවුන් සමස්ත ගෝල 241ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මෙම තරගයේ දී බ්‍රසීලය වෙනුවෙන් Rayan සහ Endrick දෙදෙනා ම ආදේශක ක්‍රීඩකයින් ලෙස පිටියට පිවිසි අතර, 1958 වසරෙන් පසුව බ්‍රසීලය විසින් එකම ලෝක කුසලාන තරගයක වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කරවූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාස ගත වුනා.

තුර්කිය සහ පැරගුවේ

මෙම තරගයේ 64 වැනි තත්පරයේ දී පැරගුවේ ක්‍රීඩක Marias Galarza විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. ඒත් සමඟින් ම අද දිනයේ මොරොක්කෝව වාර්තා කළ වේගවත් ම ගෝලයේ වාර්තාව ද බිඳ දැමීමට ඔහුට හැකි වුනා.

එමෙන්ම තරගයේ 45+3 වැනි මිනිත්තුවේ දී පැරගුවේ ක්‍රීඩක Miguel Almiron රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඔහුට එසේ තරගයෙන් ඉවත් වීමට සිදු වුනේ FIFA විසින් හඳුන්වා දුන් නව නීතියක් වන “ගැටුමක දී සිය මුඛ්‍ය වසා ගනිමින් කතා කළ නොහැකි” නීතිය යටතේයි.

ඉන් පසුව පැරගුවේ කණ්ඩායම තරගයේ දෙවන අර්ධය පුරාවට ක්‍රීඩකයින් දස දෙනෙකු සමඟ ක්‍රීඩා කළත් ඔවුන් කෙසේ හෝ තරගය ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම මේත් සමඟින් තුර්කිය මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ගිය දෙවැනි කණ්ඩායම ලෙස සටහන් වුනා.

තරගාවලියේ 10 වැනි දිනය වෙනුවෙන් අද රාත්‍රියේ සහ හෙට (21) දිනයේ තවත් තරග 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

  • අද රාත්‍රි 10.30 – නෙදර්ලන්තය සහ ස්වීඩනය
  • හෙට අලුයම 01.30 – ජර්මනිය සහ අයිවරි කෝස්ට්
  • හෙට උදෑසන 5.30 – ඉක්වදෝරය සහ කුරසාඕ
  • හෙට උදෑසන 9.30 – ටියුනීසියාව සහ ජපානය

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>