රුමේෂ් තවත් Diamond League ජයග්‍රහණයක් වාර්තා කරයි

Wanda Diamond League 2026 - Doha

9
Rumesh Tharanga

රුමේෂ් තරංග විසින් 2026 Diamond League Doha තරග අදියර ජය ගැනීමට අද (20) අලුයම සමත් වුනා.

මෙම තරගය ඉසව්ව සඳහා ලොව සිටින විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් ලෙස ඉන්දියාවේ Neeraj Chopra, ග්‍රෙනේඩාවේ Anderson Peters, ඇමරිකාවේ Curtis Thompson, කෙන්යාවේ Julius Yego වැනි ක්‍රීඩකයින් ද සහභාගී වුනා. තරග ඉසව්වේ පළමු උත්සාහයේ දී රුමේෂ් විසින් මීටර් 82.62ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඔහු පිළිවලින් මීටර් 84.63 සහ 80.53ක් ලෙස සිය දක්ෂතා සටහන් කළා.

ඒ වන විට රුමේෂ් සමස්ත තරගකරුවන් අතර සිව්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔහුගේ සිව්වැනි අවස්ථාවේ දී මීටර් 88.68ක දුරක් හෙල්ලය විසි කරමින් තරගයේ පෙරමුණට පැමිණීමට රුමේෂ් විසින් සමත් වුනා. මෙය රුමේෂ් විසින් මෙතෙක් සිදු කර ඇති සිව්වැනි හොදම දක්ෂතාව ලෙස සටහන් වූ අතර, ඉන් පසුව ඔහුට හිමි වූ අවස්ථා ද්විත්වය තුළ ඔහු විසින් මීටර් 84.47ක් සහ 81.35ක දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ඒ අනුව තරග ඉසව්වේ ජය රුමේෂ්ට හිමි වූ අතර, ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 86.38ක දක්ෂතාවක් දැක්වූ Anderson Peters හට හිමි වුනා. එමෙන්ම Curtis Thompson මෙහි තෙවැනි ස්ථානයටත්, ඉන්දියාවේ Neeraj Chopra සිව්වැනි ස්ථානයටත් පත් වුනා.

මේ අනුව මෙම වසර තුළ මෙතෙක් ලොව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්වා ඇති හොඳම දක්ෂතා 05ම රුමේෂ් තරංග සතු වීමත් විශේෂත්වයක්.

මේ දක්වා 2026 Diamond League මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව් ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, ඉන් ද්විත්වයක්ම ජය ගැනීමට ද රුමේෂ් විසින් සමත් වුනා.

දෙස්, විදෙස් මලල ක්‍රීඩාව පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>