ශ්‍රී ලංකා යෞවනයින් ආසියාවේ 08 වැනි ස්ථානයට!

22nd Asian Athletics Championship 2026

2
Sri Lanka Athletics

22 වැනි වයස අවුරුදු 20න් පහළ මලල ආසියානු මලල ක්‍රීඩා උළෙල අද හොංකොං හිදී සාර්ථකව නිමාවට පත් වුනා.

අද දිනයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක් සඳහා සහභාගී වූ අතර, ඉන් ඉසව් දෙකකින් පදක්කම් දිනා ගැනීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ අතර, එහි දී ඇය විසින් මිනිත්තු 2.07.10ක තරග නිමි කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා. මෙහි දී ඇය වාර්තා කළ තරග නිමි කාලය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

මේ අතර පිරිමි මීටර් 800 ඉසව්ව නියෝජනය කළ දිනෙත් ලියනගේ විසින් මිනිත්තු 1.49.22ක තරග නිමි කාලයක් වාර්තා කරමින් තරගය නිමා කළ අතර, එහි දී ඔහු විසින් රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම දිනෙත් විසින් සිය ඉසව්වේ අවසන් මීටර් 100 ද පසු වීමෙන් පසුව සිය ධාවන වේගය ඉහළ දමමින් රිදී පදක්කම වෙත යාම ප්‍රේක්ෂකයින් පවා මවිත කර වූ දක්ෂතාවක් ලෙස සටහන් වුනා.

මේ අතර දිනයේ අවසන් ඉසව්ව ලෙස ශ්‍රී ලංකා පිරිමි 400 සහය දිවීමේ කණ්ඩායම පිටියට අවතීර්ණ වුනා. ඔවුන් විසින් අද දිනයේ දී සිය උපරිමය ලබා දෙමින් පදක්කමක් වෙත යාමට උත්සාහ කළත්, එය සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් මෙහි දී ඔවුන් වාර්තා කළ මිනිත්තු 3.05.60 නව වයස අවුරුදු 20න් පහළ ජාතික වාර්තාවක් ලෙස සටහන් වුනා.

ඒ අයුරින් 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාවට පත් වන අතර, මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් ජය ගැනීමට සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 08ක් සමඟ පදක්කම් සටහනේ 08 වැනි ස්ථානයට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>