කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයත් සක්‍රීයයි

119th Battle of the Maroons

10
119th Battle of the Maroons Hill Country

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 119 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 20, 21 සහ 22 වැනි දින ත්‍රිත්වයේ දී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ටි. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට ආරම්භ වූ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටනට පමණයි. අගනුවර නිල් මහා සටන 1879 වසරේ දී ආරම්භ කරන ලද අතර කන්ද උඩරට සුලෝහිත සටනේ ආරම්භය සටහන් වෙන්නේ 1893 වසරේදීයි.

මෙවර තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය තරගයට පිවිසෙන්නේ 2024 වසරේ පැවැති සුලෝහිත තරගයේ කුසලානය ද අතැතිවයි. දුලාර බන්දුසේන ගේ නායකත්වයෙන් යුත් එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මේ දක්වා අවස්ථා 37ක දී සුලෝහිත කුසලානය තමන් සතු කර ගෙන තිබෙනවා.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ඉතිහාසයේ කිංග්ස්වුඩ් විද්‍යාලය දිනා ඇති තරග සංඛ්‍යාව 19ක්. ඔවුන් අවසන් වරට කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කරන්නේ 1958 වසරේ දී සී. එම්. ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේයි. ඒ අනුව ඔවුන්ට මෙතෙක් වසර 57කින් සුලෝහිත සංග්‍රාමයේ පහස විඳීමට හැකි වී නැහැ.

සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ මෙතෙක් පැවැති තරග අතුරින් තරග 62ක් නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතුරින් ධර්මරාජ විද්‍යාලය නියෝජනය කළ චාමර කපුගෙදර, ලහිරු සමරකෝන්, සඳුන් වීරක්කොඩි, ටී. බී. කෙහෙල්ගමුව, මහින්ද පෙතියාගොඩ සහ අජිත් නාරම්පනාව වැන්නෝ ද කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර සුවංජි මදනායක ද සිටිනවා.

කිංග්ස්වුඩ් විද්‍යාලය

කිංග්ස්වුඩ් කණ්ඩායම මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී දෙවැනි පෙළ Tier A කාණ්ඩය නියෝජනය කරමින් තරග 10කට සහභාගී වෙන අතර එහි දී මහනුවර සිල්වෙස්තර විද්‍යාලය, කලුතර විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලයට එරෙහි ව ජයග්‍රහණය වාර්තා කරමින් සහ තවත් තරග 5ක පළමු ඉනිමේ ජයග්‍රහණ සමඟින් මෙම තරගයට පිවිසෙනවා. ඔවුන් නිමා කළ තරග අතර හොරණ තක්ෂිලා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට වෙතින් ලැබූ පරාජයන් ද තිබෙනවා.

කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ මෙවර නායකත්වයේ කටයුතු කරන්නේ නිකේශල නානායක්කාර යි. ඔහුගේ සහායකයා වෙන්නේ ආධිල් ශෙරීෆ්. ඔවුන්ගේ කණ්ඩායම නියෝජනය කරන අය අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ කවිජ ගමගේ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කළ කෙනුල පිහිලියංග සහ චනුල් කොඩිතුවක්කු ද රැඳී සිටීම ප්‍රතිවාදීන් සසල කරවන කාරණයක්.

කවිජ ගමගේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකත්වයේ සිටිමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සේ ම වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ද නියෝජනය කරමින් දක්ෂතා දැක් වූවා.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් දක්ෂතා දැක් වූ කිංග්ස්වුඩ් විද්‍යාලයීය පිතිකරු වෙන්නේ උප නායක ආධිල් ශෙරිෆ්. ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී මාතර රාහුල විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 147ක් ද සහ තවත් අර්ධ ශතක 4ක් ද සමඟින් ලකුණු 600ක් ඉක්මවා ලබා ගන්නවා.

කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වෙන්නේ වමතින් දඟ පන්දු යවන කෙනුල පිහිලිංග. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග සමය නිමා කරන්නේ කඩුලු 50 කඩඉම සපුරා ගනිමිනුයි. ඔහුගේ මෙම දක්ෂතා අතර කලුතර විද්‍යාලයට එරෙහි ව ලකුණු 54කට දවා ගත් කඩුලු 10ක් ද තිබෙනවා.

ඔහුට අමතර ව පිට දඟ පන්දු යවන්නන් වන පෙර වසරේ නායක කවිජ ගමගේ කඩුලු 30 සීමාව පසු කරමින් ද සහ ඩොමින්සර පීරිස් කඩුලු 35 සීමා ව පසු කරමින් ද මෙම තරගය හා එක් වෙනවා.

කිංග්ස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

නිකේශල නානායක්කාර (නායක), ආධිල් ශෙරීෆ් (උප නායක), සනිරු දහනායක, ගමිඳු වික්‍රමසිංහ, කෙනුල පිහිලියංග, උමන්ත කිත්සිරි, චනුල් කොඩිතුවක්කු, දිනිඳු සයුරංග, කවිජ ගමගේ, චන්දූප කුරුප්පු, ඩොමින්සර පීරිස්, ශිරාන් අවිශ්ක, මනුල විජේතුංග, අධීශ ඉම්නද, ප්‍රමුදිත බණ්ඩාර, මොවිඳු සේනානායක, යෝසත් අබේකෝන්, තුශාන් බණ්ඩාර, කනිශ්ක දහනායක, ජනිඳු රෝද්‍රිගෝ, එශාන් අයෝද්‍ය සහ නදීශ ජනිත්.

 

නිලධාරීන්

 

සුසන්ත බස්නායක (ප්‍රධාන පුහුණුකරු), නෝමන් ජයකුමාර (සහාය පුහුණුකරු).

ධර්මරාජ විද්‍යාලය

මෙවර පාසල් තරගවාරයේ දී පළමු පෙළ කාණ්ඩයේ Tier B කොටසින් තරගාවලියට එක් වෙමින් තරග 11කට ක්‍රීඩා කරන අතර ඉන් මොරටු විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙනවා.

අනෙකුත් තරග අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයන් වෙතින් ලත් පරාජයන් ද ඊට ඇතුලත්.

මෙවර ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම කවිඳු ගුණරත්නගේ නායකත්වය යටතේ තරගයට පිවිසීමට නියමිත අතර කණ්ඩායමේ වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ ශෂිත් බණ්ඩාර යි. ඔහු මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී ලකුණු 400ක් සහ කඩුලු 33ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ඊට අමතර ව කාශ්‍යප දිසානායක සහ තරිඳු වර්ණකුලගේ ලකුණු 300 සීමා ව පසු කරමින් ධර්මරාජ පිතිකරු ලැයිස්තුවට එක් ව සිටිනවා.

ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කවිඳු ගුණරත්න (නායක), තරිඳු වර්ණකුලගේ (උප නායක), තෙවිඳු හේරත්, කාශ්‍යප දිසානායක, ඔනිත විතානගේ, කෙශණ ගුණවර්ධන, ඉසුරු සමරතුංග, ගවේශ් පූර්ණ, ලහිරු නිල්වක, ජයෝද්‍ය කඩිගාව, දිනෙත් අබේරත්න, චානුක ලක්ශාන්, තිනුලක රාජපක්ෂ, මලීශ ගුණසේකර, මංදිල් ගුණවර්ධන, මෙත්සිලු බණ්ඩාර, චනුත් ජයසිංහආරච්චි, ශෂිත් බණ්ඩාර, සුමේද ප්‍රසාද්, ඔමේෂ් ඒකනායක.

 

නිලධාරීන්

 

සේනක දිසානායක (පුහුණුකරු)

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයට එක් වෙන ධර්මරාජ විද්‍යාලයීය සහ කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television නාලිකා අංක 129 සුසර කර ගැනීමෙන් මෙන් ThePapare 1, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<