සේනා බල ගැන්වූ මොරටු රන් සටන 6 – 8 දිනවල දී

76th Battle of Golds Moratuwa

2
76th Battle of Golds Moratuwa

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 76 වැනි වරටත් පැවැත්වෙන මොරටු රන් සටන මේ මස 6, 7 සහ 8 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි.

1933 වසරේ දී පළමු වරට ඇරඹි මෙම වාර්ෂික තරගමාලාවේ 1935, 1936, 1937, 1955, 1959 සහ 1977 වසරවල ලත් ජයග්‍රහණ 6ක් වේල්ස් කුමරුවන් විසින් ද 1962, 1966, 2011 සහ 2024 වසරවල ලත් ජයග්‍රහණ 4ක් සාන්ත සෙබස්තියන්වරුන් විසින් ද හිමිකර ගෙන තිබෙනවා. ඉතිරි තරග ඉතිහාසයට එක් ව ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

වේල්ස් කුමාර විද්‍යාලය රන් සටන් ඉතිහාසයේ වැඩි වාර ගණනක් ජයග්‍රහණය කළ ද ඔවුන්ට 1977 වසරෙන් පසුව ගෙවී ගිය 48 වසරක් තිස්සේ රන් සටන් කුසලානයේ පහස ලබා ගැනීමට හැකි වී නැහැ. ඉතිහාසයේ ලත් අවසන් ජයග්‍රහණය වේල්ස් කුමරුවන් වෙත ලබා දීමේ දී කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය පෙම්ලාල් ප්‍රනාන්දු සතු වෙන අතර අද ඔහු වේල්ස් කුමාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ද කටයුතු කරනවා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය 2024 වසරේ පැවැති මොරටු රන් සටන ජයග්‍රහණය කරමින් ආසන්නත ම ජයග්‍රාහකයා ලෙස ඉතිහාසයට එක් වීමට සමත් වුනා. එම කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමි වූයේ මනුජ චන්තුක වෙතයි.

1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජික රොමේෂ් කළුවිතාරණ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දුලිප් මෙන්ඩිස් මෙන් ම වරින් වර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුසිල් ප්‍රනාන්දු, ඔෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ අමිල අපෝන්සු සාන්ත සෙබස්තියන් විද්‍යාල නියෝජනය කරමින් ද සහ වර්ථමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු සහ ලහිරු තිරිමාන්න වේල්ස් කුමාර විද්‍යාලය නියෝජනය කරමින් ද මොරටු රන් සටහන් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටිනවා.

එම ඉතිහාසයත් සමඟින් මෙවර තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය අදේශ් අල්මේදා පෙරටුකර ගනිමින් ද සහ වේල්ස් කුමාර විද්‍යාලය සුවහස් ප්‍රනාන්දු පෙරටුකර ගනිමින් ද මොරටු රන් සටන් සංග්‍රාම භූමියට පිවිසීමට නියමිතයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

අදේශ් අල්මේදා (නායක), මලින්ත සිල්වා (උප නායක), කොශේන්ද්‍ර සිල්වා, කවීෂ පෙරේරා, තිවංක ප්‍රනාන්දු, චමත් වෙල්ලාලගේ, ශෙනාස් හශේන්, ලශේන් ප්‍රනාන්දු, දීනිප වික්‍රමසූරිය, මෙශේන් ෆර්ඩිනැන්ඩු, සෙන්දිනු පීරිස්, අදීශ ලක්ශාන්, රිසිනු ප්‍රබේශ්, ඉල්ශාන් ප්‍රනාන්දු, ශෙෆාන් ප්‍රනාන්දු,

 

නිලධාරීන්

 

දයා ධර්ශන පියතුමා (විදුහල්පති), දිලූෂ චාමර පියතුමා (ක්‍රීඩාභාර ආචාර්ය), කනිශ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සඳරු පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), පුබුදු ප්‍රසාද් (සහාය පුහුණුකරු)

වයස අවුරුදු 19න් පහළ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම

 

සුවහස් ප්‍රනාන්දු (නායක), ඔෂාන් ද සිල්වා (උප නායක), සුහස් රණවන, දිනෝද් රන්තුල්, ශෙහාන් අශේන්, හසිඳු චමෝද්, ගවේශ රෝහණ,  පසන් කුරේ, නෙතුල් අනුහස්, ශෙනුක සේනානායක, මතීෂ අපෝන්සු, තුසිඳු දීමන්ත, නවීන් ප්‍රනාන්දු, රුසඳු සිල්වා, පිළිඟු පෙරේරා, රිවින් පීරිස්, නෙහාන් අනුහස්, දිනෙත් ජිනේන්ද්‍ර සහ ප්‍රින්ස් ප්‍රනාන්දු.

 

නිලධාරීන්

මේජර් දමින්ද්‍ර කුඩලිගම (විදුහල්පති), අරුණි ජයවර්ධන (ක්‍රීඩා භාර ආචාරිය), කෝසල සඳරුවන් (ක්‍රිකට් භාර ආචාර්ය), පෙම්ලාල් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), රජීව ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), සමන් ලසිංක (කනිෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), සමීර ප්‍රනාන්දු (Trainer)

41 වැනි එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 14 වැනිදා ද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග ඉතිහාසයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවස්ථා 20ක දී සහ වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථා 16ක දී ද ජයග්‍රහණය වාර්තා කර තිබෙන අතර ආසන්නත ම වසරේ ජයග්‍රාහකයන් වෙන්නේ වේල්ස් කුමාර විද්‍යාලයයි.

පැවැති අනෙක් තරගවල දී 2014 වසරේ තරගයේ ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර 1990 සහ 2008 වසරවල තරග විසඳුමකින් තොරව අවසන් වෙනවා. 2020 වසරේ තරගය අතහැර දැමුණ තරගයක් ලෙසයි ඉතිහාසයට එක් ව තිබෙන්නේ.

දෙවිදුහල් අතර 4 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස තරගය මේ මස 15 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එම සෑම තරගයක ම ජයග්‍රාහකයන් වෙන්නේ සාන්ත සෙබස්තියන්වරුනුයි.

76 වැනි මොරටු රන් සටනට එක්වෙන මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම්වලට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 63 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<