10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 1 වැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අද (1) සමත් වෙනවා.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද තරගයට එක් වෙද්දී ද අවසන් පූර්ව වටයේ අසුනක් වේලාසනින් ම වෙන් කර ගෙන තිබුණා. ඔවුන් සුපිරි 8 වටය නිමා කරන්නේ 1 වැනි කාණ්ඩයේ ප්‍රමුඛයන් බවට පත් වෙමින්. එමෙන් ම මෙම වටයේ පමණක් නොව පළමු වටය ද අවසන් කරන්නේ අපරාජිතව වීම විශේෂත්වයක්.
ඉන්දියාව මෙම තරගය සඳහා සහභාගී වූයේ සුපිරි 8 ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයේ සිටිමිනුයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඒ වෙද්දී රැඳී සිටියේ 2 වැනි ස්ථානයේයි. ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් අභිබවා යමින් අවසන් පූර්ව වටයේ අසුනක් හිමි කර ගත් අවසන් කණ්ඩායම බවට පත් වුණා.
51 වැනි තරගය (දිවා/රාත්‍රී), Super 8s, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර
Delhi හී Arun Jaitley ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 153ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Sikandar Raza. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 17 වැනි අර්ධ ශතකය වු අතර මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද මංගල අර්ධ ශතකයක්.
ඊට අමතර ව සිම්බාබ්වේ ඉනිම අවසන් වන විට Clive Madande පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Kwena Maphaka සහ Corbin Bosch කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව George Linde, Lungi Ngidi සහ Anrich Nortje කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 13ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගන්නවා. එම ඉනිමේ ආරම්භය අසාර්ථක වූව ද මැද පෙළ පිතිකරුවෝ කදිමට තරගයට අවතීර්ණ වෙමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.
එහි දී Dewald Brevis පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ඊට අමතර ව Ryan Rickelton පන්දු 22ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී George Linde පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද සහ Tristan Stubbs පන්දු 24කට මුහුණ දෙමින් නොදැවී ලකුනු 21ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 53ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී Sikandar Raza ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Brad Evans සහ Blessing Muzarabani කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සිම්බාබ්වේ – කඩුලු 7ක් දැවී 153 (20.0) Sikandar Raza73, Clive Madandeනොදැවී 26, Kwena Maphaka 2/21, Corbin Bosch 2/40
- දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී 154 (17.5)Ryan Rickelton31, Dewald Brevis 42, David Miller 22, Tristan Stubbs නොදැවී 21, George Linde නොදැවී 30, Sikandar Raza 3/29
දකුණු අප්‍රිකා කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Sikandar Raza (සිම්බාබ්වේ)
- එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තීරණාත්මක කඩඉම්වලට
- කොදෙව්වෝ, සිම්බාබ්වේට එරෙහි ව ගිනිකෙළි හරඹයක
- ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ජය ලබයි
- බෑ කියා හා කියූ පාකිස්තාන මෙහෙයුම අඩාලයි
52 වැනි තරගය (රාත්‍රී), Super 8s, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර
Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා ගන්නවා.
එම ඉනිම ආරම්භ කරන Shai Hope සහ Roston Chase එක් ව තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක Shai Hope පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32කට දැවී යෑමත් සමඟිනුයි.
අනතුරු ව Roston Chase සහ Shimron Hetmyer එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 22ක් පමණක් උපයෝගී කර ගනිමින්. Shimron Hetmyer පන්දු 12ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී Roston Chase ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් ව සිටියා.
අනතුරු ව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අවසන් වෙද්දී Rovman Powell සහ Jason Holder එක් ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 76ක සබඳතාවක් ගොඩ නගනවා. ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කරන්නේ පන්දු 35ක් පමණයි.
එහි දී Jason Holder පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ Rovman Powell පන්දු 19කට මුහුණ දෙමින් හතපෙහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Jasprit Bumrah ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Hardik Pandya සහ Varun Chakravarthy කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු පන්දුවාර 6 අවසන් කරන්නේ ලකුණු 53ක් ලබා ගනිමිනුයි. එහෙත් ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ කඩුලු ද්විත්වයක් ද බිලි වී තිබුණා.
කෙසේ වෙතත් 3 වැනි කඩුල් සඳහා පන්දු 35ක දී ලකුණු 58ක් ද සහ 4 වැනි කඩුල්ල සඳහා පන්දු 26ක දී ලකුණු 42ක් ද එක් කරමින් තරගය ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට Sanju Samson පෙරමුණ ගත්තා. ඔහු ඒ වෙනුවෙන් 3 වැනි කඩුල්ලට Suryakumar Yadav ද සහ 4 වැනි කඩුල්ලට Tilak Varma ද එක් කර ගත්තා.
එම කඩුලුවල දී නායක Suryakumar Yadav පන්දු 16ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද සහ Tilak Varma පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා ට අමතර ව Hardik Pandya ද පන්දු 14ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණ 17ක් ලබා ගන්නේ Sanju Samson හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 38ක් ද එක් කරමිනුයි.
ඉන්දීය ක්‍රීඩකයෝ තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යද්දී Sanju Samson පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 97ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Jason Holder සහ Shamar Joseph කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Akeal Hosein ට ද කඩුල්ලක හිමි වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීය කොදෙව්- කඩුලු 4ක් දැවී 195(20.0) Shai Hope 32, Roston Chase 40, Shimron Hetmyer 27, Rovman Powell නොදැවී 34, Jason Holder නොදැවී 37, Jasprit Bumrah 2/36
- ඉන්දියාව- කඩුලු 5ක් දැවී 199(19.2) Sanju Samson නොදැවී 97, Tilak Varma 27, Jason Holder 2/38, Shamar Joseph 2/42
ඉන්දීය කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Sanju Samson (ඉන්දියාව)
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන
1 වැනි අවසන් පූර්ව තරගය
- මාර්තු 4 – දකුණු අප්‍රකාව සහ නවසීලන්තය අතර Kolkata හී Eden Gardensක්‍රීඩාංගණයේ දී.
2 වැනි අවසන් පූර්ව තරගය
- මාර්තු 5 – ඉන්දියාව සහ එංගලන්තය අතර Mumbaiහි Wankhede ක්‍රීඩාංගණයේ දී.
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















