ඉසුරු අයේෂ් ගල්කිස්ස තෝමසුවන් මෙල්ල කරයි

176

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් පැරබෝලා ක්‍රමය අනුව එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය (22) සමත් විය.

විනුකගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

කොළඹ නාලන්දා විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන විනුක නානායක්කාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අද (21) දින නාලන්දා…

කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 142ක් පමණි. සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කැනිස්ටන් ගුණරත්නම් ය. ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ඉසුරු මඩවල (32) සහ නායක රයන් ප්‍රනාන්දු (27) තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසියහ.

කඩුලු ලබා ගැනීමේ දී ඉසුරු අයේෂ් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් සාන්ත තෝමසුවන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ කිසිදු බයක් හැකක් නැතිව පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව කඩිනමින් ක්‍රියාත්මක කරන්නට වූයේ වර්ෂාවක පෙර නිමිති පහළ වෙද්දීය. කෙසේ වෙතත් ආනන්ද විද්‍යාලය ලකුණු 100 වාර්තා කරන විට කඩුලු 7ක් ක්‍රීඩා විවේකාගාරයට ගොස් තිබුණි. ඒ අතර නුසාල් ධර්මරත්න පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 30ක් ලබා සිටියේය. ඊට අමතරව සවිරු බණ්ඩාර ලකුණු 33ක් ලබා ගත්තේය.

Photos: Ananda College vs S. Thomas’ College | U17 Cricket Tournament 2019

 

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට ආනන්ද ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා සිටියහ. නැවත තරගය ආරම්භ වන විට තරගය පන්දුවාර 43කට සීමා වූවද නැවත පැමිණි වර්ෂාව තරගය නතර කර දැමුවේය. ඒ වෙද්දී පැරබෝලා ක්‍රමය අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගත යුතුව තිබූ ලකුණු 134 ආනන්ද විද්‍යාලය අභිබවා තිබීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ආනන්දය සතු විය.

පන්දු යැවීමේ දී රන්දීව් ගුණසේකර ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් සාන්ත තෝමසුවන් වෙනුවෙන් දක්ෂතා දැක් වූයේය.

සාන්ත තෝමස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 142 (36.1) කැනිස්ටන් ගුණරත්නම් 45, ඉසුරු මඩවල 32, රයන් ප්‍රනාන්දු 27, ඉසුරු අයේෂ් 4/26, දුලින් එදිරිමාන්න 3/16, ටෙහාන් පෙරේරා 2/29

ආනන්ද විද්‍යාලය; කඩුලු 9ක් දැවී 135 (36.5) නුසාල් ධර්මරත්න 30, සවිරු බණ්ඩාර 33, රන්දිව් ගුණසේකර 3/34, වයි. රොද්‍රිගෝ 2/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<