කැන්ගරුවන්ට සුපිරි 8 අහිමි කළ සිම්බාබ්වේ – සිංහ හමුව

ICC Men's T20 World Cup 2026

2
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වන අවසන් තරගය සිම්බාබ්වේ සමඟින් අද (19 වැනිදා) දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි. ‍මෙම තරගය මෙවර තරගාවලියේ 38 වැනි තරගයයි.

මේ වන විට කණ්ඩායම් ද්විත්වය ම මෙවර තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා සිටින අතර මෙම තරගයේ තීරණය B කාණ්ඩයේ පළමු ස්ථානයත් සහ 2 වැනි ස්ථානයත් පමණක් තීරණය කෙරෙනු ලැබේ.

ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ අයර්ලන්තය, ඕමානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු 6ක් සහ 2.463ක ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් රඳවාගෙන මේ වන විට ද මෙම කාණ්ඩයේ පළමු අසුන පහසුවෙන් ම වෙන් කර ගෙන සිටිනවා.

ඕමානය පරාජය කරමින් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඉන් අනතුරු ව ඕස්ට්‍රේලියාවට එරෙහි ව පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ සමඟින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට ගෙන ආ ඔවුන් ඊළඟ තරගයට සහභාගී වෙන්නේ අයර්ලන්තය සමඟ තරගයටයි. එම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙන අතර ඒ නිසා ම එම තරගයෙන් ලත් ප්‍රසාද ලකුණත් සමඟින් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු තත්ත්වය 5ක් බවට පත් වෙමින් සුපිරි 8 වටය සඳහා ද සුදුසුකම් ලබා ගන්නවා.

මෙවන් තත්ත්වයක් හමුවේ, හමුවෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස, මෙතෙක් තරග ඉතිහාසය තරග 11කින් සමන්විතයි. ඒ අතුරින් තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙන අතර ඉතිරි තරග ත්‍රිත්වයේ ජයග්‍රහණ සිම්බාබ්වේ කණ්ඩායම සතු ව පවතිනවා.

මේ තරග අතුරින් 2010 සහ 2012 වසරවල පැවැති ලෝක කුසලාන තරග ද්විත්වයේ දී ද ඔවුනොවුන් මීට පෙර හමු වී ඇති අතර එම තරග ද්විත්වයෙන් ම ජයග්‍රහණ ලබා ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ 7 වැනි තරගාවලියට එක් ව සිටින සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරග ඉතිහාසයේ මේ වන විට පැමිණි ඉහළ ම අදියර වන්නේ මෙයයි.

එවන් ගෞරවනීය ඉතිහාසයක් සිම්බාබ්වේ දේශයට එක් කළ නායක Sikandar Raza මේ තරගය හා එක් වෙන්නේ එරට වෙනුවෙන් විස්සයි විස්ස තරග පිටියේ වැඩිම ලකුණුලාභියා ද වී සිටිමිනුයි. මේ වන විට ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 129කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලකුණු 2913ක් ලබා සිටිනවා.

ඊට අමතර ව දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරමින් කඩුලු 103ක් ද ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.

ඔහුගේ විස්සයි විස්ස දක්ෂතා අතරට ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 8කට එක් වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 222ක් ද සහ ලබා ගත් කඩුලු 9ක් තිබෙනවා.

මේ වෙද්දී පෑ දක්ෂතා අනුව ඔවුන්ගේ කණ්ඩායමේ මේ වන විට වඩාත් ම ආවේගාත්මක පිතිකරු බවට පත් ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු Brian Bennett. ඔහු මේ වෙද්දී මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග ද්විත්වයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 64 ද සමඟින් ලකුණු 112ක් ලබා සිටිනවා. ඕමානයට එරෙහි තරගයේ දී ද ඔහු ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 48ක්. එම ඉනිම ද ඔහු අවසන් කරන්නේ නොදැවුණ ක්‍රීඩකයෙක් ලෙසයි.

මේ දක්ෂතාත් සමඟින් ඔහුගේ දක්ෂතා ලැයිස්තු ගත ව ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 54ක දී ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1708ක් ලෙසයි. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 8ක දී ලබා ගත් ලකුණු 260ක් ද තිබෙනවා. එය සිම්බාබ්වේ පිතිකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව තනි ක්‍රීඩකයෙක් ලබා සිටින ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

Brian Bennett.

සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රවේගකාරී ගැටවරයා Brian Bennett.

සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කරන පිතිකරුවන් ලෙසින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ryan Burl,  කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි Tadiwanashe Marumani සහ Dion Myers ද සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් නායක Sikandar Raza ට අමතර ව වැඩි පීඩනයක් එල්ල කළ හැකි පන්දු යවන්නා බවට විශ්වාස කළ හැක්කේ දකුණතින් මඳ වේග පන්ද යවන Brad Evans. ඔහු නිමා වූ තරග ද්විත්වයේ දී කඩුලු 3ක් බැගින් කඩුලු 6ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් අමාරුවේ දමනවා. ඔහුගේ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5 තුළ කඩුලු 11ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වා තිබෙනවා.

ඒ අතරට පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එරෙහි ව Rawalpindi හි දී ලකුණු 9කට දවා ගත් කඩුලු 3ක් ද තිබෙනවා.

ඔහුට අමතර ව නිමා වූ ආසන්නත ම තරගයේ දී ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් වමතින් මඳ වේග පන්දු යවන Richard Ngarava ද ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි පන්දු යවන්නෙක් ලෙසින් හැඳන්වෙනවා. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 91කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 111ක්.

එමෙන් ම මේ වෙද්දී තමන් සහභාගී වූ අවසන් ඉනිම් 10 දී කඩුලු 11ක් ලබා ගනිමින් සහ මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 77ක කඩුලු 49ක් ලබා සිටි 32 හැවිරිදි වියේ පසුවෙන Wellington Masakadza ද සිම්බාබ්වේ කණ්ඩායම සතු තවත් දක්ෂ පන්දු යවන්නෙක්.

සිම්බාබ්වේ සංචිතය

 

Sikandar Raza (නායක), Brian Bennett, Tadiwanashe Marumani (කඩුලු රකින්නා), Ryan Burl, Dion Myers, Tony Munyonga, Tashinga Musekiwa, Brad Evans, Wellington Masakadza, Graeme Cremer, Blessing Muzarabani, Ben Curran, Clive Madande, Tinotenda Maposa, Richard Ngarava.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<