ගාලු පිටිය වසර 17කට පසුව එක්දින තරගයකට සූදානමින්

2405

මේ මස අග ආරම්භ වීමට නියමිත, සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී, 17 වසරකට පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා සත්කාරකත්වය දැරීමට අවස්ථාවක් හිමි වී ඇත.

පරාජයේ වගකීම තනි ක්‍රීඩකයෙකුට පැවරීම අසාධාරණයි – මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු අත් හැර දැමීමට සිදු වුනේ මූලික වටයේ තරග තුනෙන් දෙකක් පරාජය වීමත් සමඟයි.

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් හා එක් ටෙස්ට් තරගයක් ඇතුළත්ව ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තයේ හා නෙදර්ලන්තයේ තරග සංචාරයට පසුව අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම හා තරග වැදීමට මෙරටට පැමිණෙන අතර, පා දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ක්‍රෙමර් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවනු ඇත. එහි පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 30 වැනි දා ගාලු පිටියේ දී පැවැත්වෙන අතර, ඉන් දින දෙකකට පසුව නැවතත් දෙවන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය එම පිටියේ දී ම පැවැත්වේ.

තරගාවලියේ අවසන් එක්දින තරග 3ම දිවා තරග ලෙස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර, එම ක්‍රීඩා පිටිය ද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්  තරගයක් සඳහා සත්කාරකත්වය දරන්නේ වසර දෙකකට පමණ පසුවයි.

එම එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීමෙන් පසුව මෙම තරගාවලියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට කණ්ඩායම් දෙකම පැමිණෙනු ඇත. ආර්. ප්‍රේමදාස පිටියේ දී අවසන් වරට 2013 වර්ෂයේ දී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයක් පවත්වා ඇත.

ගාලු පිටියේ අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2000 වර්ෂයේ වන අතර එය ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා පකිස්තානය අතර තුන්කොන් තරගාවලියක් ලෙසින් පවත්වා තිබේ.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය රුපියල් බිලියන 4.2ක දැවැන්ත මුදලක් වියදම් කර ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩා පිටියේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දීය. එසේම මෙම ක්‍රීඩාංගණයේ දැනට පවත්වා ඇත්තේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 11ක් හා 20-20 ජාත්‍යන්තර තරග 9ක් පමණි. මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එහි නැවත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන සම්පූර්ණ තරග කාලසටහන

  • පළමු එක්දින ජාත්‍යන්තර තරගය – ජුනි 30 – ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය (දිවා)
  • දෙවන එක්දින ජාත්‍යන්තර තරගය – ජුලි 2 – ගාල්ල ජාත්‍යන්තර පිටිය (දිවා)
  • තෙවන එක්දින ජාත්‍යන්තර තරගය – ජුලි 6 හම්බන්තොට (දිවා)
  • සිව්වන එක්දින ජාත්‍යන්තර තරගය – ජුලි 8 හම්බන්තොට (දිවා)
  • පස්වන එක්දින ජාත්‍යන්තර තරගය – ජුලි 10 හම්බන්තොට (දිවා)
  • ටෙස්ට් තරගය – ජුලි 14 සිට 18 දක්වා – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට