ජාත්‍යන්තර මාස්ටර්ස් ක්‍රිකට් සංගමය සංවිධානය කරන IMC Over 70’s ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේ දී පැවැත් වේ.
මෙම තරගාවලිය හෙට (18) සිට මාර්තු මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. පන්දුවාර 45කින් යුත් මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, ඇමරිකාව සහ Rest of World කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකාව ද එක් වෙනවා.
පළමු වටයේ දී එක් එක් කණ්ඩායම සමඟින් ඒ සෑම කණ්ඩායමක් ම තරග කරන අතර ඒ අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා තෝරා ගනු ලැබෙනවා. එම තරගය මාර්තු මස 5 වැනි දා Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයත්වය හිමි ව ඇත්තේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චුත්බර්ත් බෙරෙන්ජර් වෙතයි. මේ වන විට 81 වැනි වියේ පසුවෙන ඔහු තරගාවලියට එක් වෙන වයස්ගත ම ක්‍රීඩකයායි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ඔහු වසර 40කට වැඩි කාලයක් එම කලාප ශ්‍රේණිගත ක්‍රිකට් තරගමාලාවන් හී ක්‍රීඩා කරමින් ලකුණු 10 000ක් ඉක් ම වූ ක්‍රීඩකයෙක්.
කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට ගිය ඉන්ද්‍රන් තේවෙන්ද්‍රන් වෙතයි. ඔහු මීට පෙර ද මෙම වයස් කාණ්ඩයේ මෙන් ම Over 60s වයස් කාණ්ඩයේ ද ලෝක කුසලාන තරගාවලියන් සඳහා එක් ව ඇති එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.
ඔවුන් සමඟින් මෙම කණ්ඩායම නියෝජනය කරන්නන් අතර මීට පෙර විවිධ වයස් කාණ්ඩ ලෝක කුසලාන තරගමාලාවන් නියෝජනය කළ ෆස්ලි වහාබ්, විජේ සිවලිංගම්, ක්‍රිස් පෙරේරා, සුරේෂ් නවරත්නම්, දීපාල් අහංගම, ජෝන් ප්‍රේමචන්ද්‍රන් සහ සෝමසුන්දරම් සිවරාමක්‍රිෂ්ණන් යන අය ද සහභාගී වෙනවා.
ඔවුන්ට අමතර ව මීට පෙර නීතීඥ ලෝක කුසලාන තරගමාලා 5ක් නියෝජනය කළ නීතීඥ ඩික්ෂන් ගුණවර්ධන ද ප්‍රථම වරට මෙම කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා. 1975 වසරේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ ඩික්ෂන් ගුණවර්ධන මැද පෙළ පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.
එමෙන් ම 2024 වසරේ 70s ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළ සුනිත ගුණතිලක මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය නියෝජනය කිරීම විශේෂත්වයක්. ඒ අනුව රටවල් ද්විත්වයක් නියෝජනය කරමින් මෙම තරගාවලියට එක් වෙන එක ම ක්‍රීඩකයා බවට ඔහු පත් වෙනවා.
ශ්‍රී ලංකා 70s කණ්ඩායම
චුත්බර්ත් බෙරෙන්ජර් (නායක), ඉන්ද්‍රන් තේවෙන්ද්‍රන් (උප නායක), ෆස්ලි වහාබ් (කඩුලු රකින්නා), විජේ සිවලිංගම්, ක්‍රිස් පෙරේරා, සුරේෂ් නවරත්නම්, දීපාල් අහංගම, ටෝනි ගුණවර්ධන (කඩුලු රකින්නා), ගාමිණී දෙබහපුව, අසෝක වික්‍රමරත්න, ඩික්ෂන් ගුණවර්ධන, ජෝන් ප්‍රේමචන්ද්‍රන්, සුනිත ගුණතිලක, ජූඩ් පෙරේරා, සෝමසුන්දරම් සිවරාමක්‍රිෂ්ණන්, මැකී රාජකෝන්, කෝවින්තපිල්ලෙයි අමිර්තලිංගම්.
නිලධාරීන්
ප්‍රසන්න කාරියවසම් (කළමණාකරු), නඩරාජන් ගෞරිපාලන් (සහාය කළමණාකරු සහ පන්දු යවන්නන්ගේ පුහුණුකරු), සිවසම්බු කනගසුන්දරම් (කණ්ඩායම් සහායක)
- ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!
- SSC උසස් විමක් ලබා ගනිමින් Tier B තරගාවලිය අවසන් කරයි
- ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට
- පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’
- Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ
මෙම තරගාවලිය සඳහා 13 දෙනෙක්ගෙන් යුත් විනිසුරු සංචිතයක් නම් කර ඇති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ ශ්‍රියාන් හේවාවසම් පමණයි. ශ්‍රී ලංකාවේ Association of Professional Cricket Umpires සංගමය නියෝජනය කරන ශ්‍රියාන් හේවාවසම් මීට පෙර මෙරට දී පැවැති IMC Over 50s ලෝක කුසලාන ක්‍රිකට් කුසලාන තරගාවලියේ දී ද විනිසුරුවෙක් ලෙසින් කටයුතු කළා. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රීයාන් හේවාවසම් එම කණ්ඩායමේ 1989 වසරේ නායකයා ද වූ අතර ඊට පසුව ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට ද එක් වෙමින් දක්ෂතා දැක්වූ අයෙක්.
ඔහුට අමතර ව නම් කරන ලද විනිසුරු සංචිතයට කාන්තා එක්දින ජාත්‍යන්තර තරග සහ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්ත තරග විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කර ඇති ඕස්ට්‍රේලියාවේ Peter Tate, කැනඩාව නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සහ ඊට පසුව ICC Trophy තරගාවලියේ ද විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කළ Azad Hosein, කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙක් වූ නවසීලන්තයේ Dave Paterson, කැනඩාව සහ බහරේන් කණ්ඩායම් ද නියෝජනය කරමින් ඉන් අනතුරු ව පළමු පෙළ තරග පිටියේ විනිසුරුවෙක් ලෙසින් ද කටයුතු කරන Shantikumar Kantharatnam ද මෙම විනිසුරු සංචිතයට ඇතුලත්.
Shantikumar Kantharatnam මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටියේ දී Tamil Union කණ්ඩායම ද නියෝජනය කර ඇති ක්‍රීඩකයෙක්.
Over 70s ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග
- පෙබරවාරි 18 දා – කැනඩාව සමඟBurnside ක්‍රීඩාංගණයේ දී.
- පෙබරවාරි 20 දා – නවසීලන්තය සමඟChrists විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- පෙබරවාරි 22 දා – ඉන්දියාව සමඟSefton Domain ක්‍රීඩාංගණයේ දී.
- පෙබරවාරි 24 දා –Rest of World කණ්ඩායම සමඟ Mandeville ක්‍රීඩාංගණයේ දී.
- පෙබරවාරි 26 දා – එංගලන්තය සමඟMain Power Oval ක්‍රීඩාංගණයේ දී.
- මාර්තු 1 දා – ඇමරිකාව සමඟDarfield Cricket Oval ක්‍රීඩාංගණයේ දී.
- මාර්තු 3 දා – ඕස්ට්‍රේලියාව සමඟින්Sydenham ක්‍රීඩාංගණයේ දී.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















