දුනිත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙන යයි

Asia Cup Rising Stars 2025

18
Asia Cup Rising Stars 2025

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වෙද්දී A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් එම කඩඉමට පිවිසෙන්නේ බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.  

Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (19) A කාණ්ඩයේ පළමු වටයේ අවසන් වූ අතර එහි දී බංග්ලාදේශ A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර තරගයට අමතර ව හොංකොං සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තරගය ද පැවැතියා. එම තරගයෙන් හොංකොං කණ්ඩායම පරාජය කිරීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ද සමත් වූවා.

එම ප්‍රතිඵලත් බංග්ලාදේශ A කණ්ඩායම, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 4ක් බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවීමට සමත් වෙනවා. ඒ අනුව ගණනය කෙරුණ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ලකුණු 2.323ක් ලබා ගත් බංග්ලාදේශ A කණ්ඩායම 1 වැනියා වෙමින් ද සහ ලකුණු 0.970ක් ලබා ගත්  ශ්‍රී ලංකා A කණ්ඩායම 2 වැනියා වෙමින් ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

>>පාකිස්තාන Shaheens සහ ඉන්දීය A අවසන් පූර්ව වටයට<<

11 වැනි තරගය, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් පමණයි.

මෙම තරගයේ දී, පෙර තරගය දක්වා ශ්‍රී ලංකා A කණ්ඩායම හා එක් ව සිටි දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත්, පාකිස්තාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට එක්වීම හේතුවෙන් දකුණතින් මඳ වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන් මෙම තරගයට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම

 

දුනිත් වෙල්ලාලගේ (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), විශේන් හැළඹගේ, ලසිත් කෲස්පූල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රමෝද් මදුශාන්, මිලාන් රත්නායක, ට්‍රවීන් මැතිව් සහ ගරුක සංකේත්.

 

බංග්ලාදේශ A කණ්ඩායම

 

Akbar Ali (නායක), Habibur Rahman Sohan, Jishan Alam, Zawad Abrar, Rakibul Hasan, Mahidul Islam Ankon (කඩුලු රකින්නා), SM Meherob, Abu Hider, Yasir Ali, Ripon Mondol, Abdul Gaffar Saqlain.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ අසාර්ථක ආරම්භයක්. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම දැවී යනවා. එහි දී කඩුලු අහිමි කර ගන්නේ නිශාන් මදුශ්ක (9) සහ විශේන් හැළඹගේ (13). ඔවුන් දෙදෙනා දැවී යද්දී ලකුණු පුවරුව දැක් වුණේ 23ක් ලෙසයි.

අනතුරු ව ලසිත් කෲස්පූල්ලේ ලකුණු 9කට ද සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 15කට ද දැවි යමින් ශ්‍රී ලංකා ඉනිම තවත් අසරණ කරනවා. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනිමට ඉදිරිපත් වූයේ සහන් ආරච්චිගේ සහ රමේෂ් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 48ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රමේෂ් මෙන්ඩිස් දුවද්දී දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.

අනතුරු ව ඔහුගේ පුරප්පාඩුව පිරවීමට නායක දුනිත් වෙල්ලාලගේ පැමිණි අතර ඔහු පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා. ඔහු සහන් ආරච්චිගේ සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 20ක දී එක් කළ ලකුණු සබඳතාව 52ක්.

සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා A ඉනිම අවසන් වීමට පන්දුවක් තිබිය දී දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Abu Hider සහ Ripon Mondol කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Rakibul Hasan සහ Abdul Gaffar Saqlain කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Abdul Gaffar Saqlain. ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඊට අමතර ව Zawad Abrar පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද, නායක Akbar Ali පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගන්නවා.

කඩුලු 5ක් ලකුණු 118කට දැවී ගොස් තිබිය දී පිටියේ එක් වූ Yasir Ali සහ SM Meherob එක් ව බංග්ලාදේශ A ඉනිමේ බලාපොරොත්තු ඉහළ නැංවූ අතර අවසන් පන්දුවාරයේ දී ඔවුන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 18ක් පමණයි.

මිලාන් රත්නායක විසින් යැවුණ එම පන්දුවාරයට SM Meherob විසින් හයේ පහරක් එක් කළ ද අතිරේක ලකුණු 4ක් ද සමඟින් ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 11ක් පමණයි. ඉනිමේ අවසන් පන්දුවේ දී Yasir Ali ලකුණු 20කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කරගෙන තිබුණා.

ඉනිම අවසන් වන විට SM Meherob පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් බංග්ලාදේශ A කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදීයා වූ අතර ඊට අමතර ව ට්‍රවීන් මැතිව්, ගරුක සංකේත් සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 159 (20.0) සහන් ආරච්චිගේ 69, දුනිත් වෙල්ලාලගේ 23, Ripon Mondol 2/41, Abu Hider 2/37

 

බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 6ක් දැවී 153 (17.5) Abdul Gaffar Saqlain 27, Zawad Abrar 26, Akbar Ali 25, Yasir Ali 20, දුනිත් වෙල්ලාලගේ 3/19

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 6ක ජයක්.

තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකා A කණ්ඩායම)

11 වැනි තරගය, ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් හොංකොං කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.

ඒ අනුව ලකුණු 24ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමත් වෙනවා.

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම

 

Darwish Rasooli (නායක), Imran Mir, Zubaid Akbari, Sediqullah Atal, Rahmanullah Zarma Khan, Mohammad Ishaq (කඩුලු රකින්නා), Farmanullah Safi, Qais Ahmad, AM Ghazanfar, Bilal Sami, Faridoon Dawoodzai. 

 

හොංකොං කණ්ඩායම

 

Yasim Murtaza (නායක), Zeeshan Ali (කඩුලු රකින්නා), Anshy Rath, Shiv Mathur, Nizakat Khan, Kinchit Shah, Ehsan Khan, Mohammad Waheed, Hassan Khan Mohammad.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Mohammad Ishaq. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඊට අමතර ව Rahmanullah Zarma Khan පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද, Farmanullah Safi පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ ආරම්භක පිතිකරු Imran Mir පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Hassan Khan Mohammad ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mohammad Waheed කඩුලු 2ක් ද සහ Aizaz Khan කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෝ තර්ජනාත්මක පිති ප්‍රහාරයක නිරත වූව ද පසු පෙළින් ඔවුන්ට ඊට සහයෝගය ලැබෙන්නේ නැහැ.

ඒ අනුව අවසන් වූ හොංකොං ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Babar Hayat. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඊට අමතර ව Anshy Rath පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ Shiv Mathur පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Qais Ahmad ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Faridoon Dawoodzai සහ Bilal Sami කඩුලු ද්විත්වය බැගින් ද AM Ghazanfar සහ Farmanullah Safi කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම – කඩුලු 6ක් දැවී 140 (20.0) Imran Mir 20, Rahmanullah Zarma Khan 24, Mohammad Ishaq 38, Farmanullah Safi නොදැවී 23, Mohammad Waheed 2/31, Hassan Khan Mohammad 3/30

 

හොංකොං කණ්ඩායම – කඩුලු 9ක් දැවී 116 (20.0) Anshy Rath 27, Babar Hayat 30, Shiv Mathur 24, Bilal Sami 2/23, Faridoon Dawoodzai 2/21, Qais Ahmad 3/18

ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

  • තරගයේ වීරයා – Qais Ahmad (ඇෆ්ගනිස්තාන A කණ්ඩායම)

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 21 වැනිදා Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<