ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් නොසලකා හැරීමට තීරණය කරයි!

2027 AFC Asian Cup Qualification

27
2027 AFC Asian Cup Qualification

ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම් අතර පසුගිය 10 වැනි දා පැවැත්වුණු පාපන්දු තරගයෙන් ගෝල 3-1ක අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

2027 AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාපන්දු තරග වලට අදාළ ව මෙම තරගය ක්‍රියාත්මක වූ අතර, මීට පෙර ශ්‍රී ලංකාව තායිලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී ගෝල 1-0ක පරාජයක් අත් විඳීමට සිදු වූ නිසා, මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා කිහිපයක් හිමි වූ නමුත්, ඒවා අසාර්ථක උත්සාහයන් ලෙසයි නම් වුනේ. මේ අතර චීන තායිපේ කණ්ඩායමට ද ගෝල වාර්තා කිරීමේ ආසන්න අවස්ථාවක් හිමි වූ නමුත්, සුජාන් පෙරේරාගේ සාර්ථක ගෝල රැකීම හමුවේ එය අසාර්ථක වුනා.

මෙවන් වාතාවරණයක තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වූ අතර, එහි දී ශ්‍රී ලංකාව වඩාත් ඉහළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 49 වැනි මිනිත්තුවෙ දී Adhavan Rajamohan විසින් තරගයේ පළමු ගෝලය ශ්‍රී ලංකාව වෙනුවෙන්  වාර්තා කළා.

ඉන් මිනිත්තු 4කට පසුව තරගයේ 53 වැනි මිනිත්තුවේ දී ඩිලෝන් ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් මිනිත්තු 5ක් ගෙවී යන තැන වසීම් රාසික් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි ගෝලය ද වාර්තා කළේ චීන තායිපේ ක්‍රීඩකයින්ට නැවත හැරීමක් ගැන සිතා බැලීමට හෝ ඉඩ නොතබමිනුයි.

තරගයේ 70 වැනි මිනිත්තුවේ දී චීන තායිපේ ක්‍රීඩක Huang Wei-Chieh විසින් තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කළා.

මෙය චීන තායිපේ කණ්ඩායම පාර්ශවයෙන් බලන කළ ඉතා දරුණු පරාජයක් බව සැකයකින් තොරව සඳහන් කළ හැකි. චීන තායිපේ කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 166 වැනි ස්ථානයේ පසු වන අතර, ඔවුන්ට එරෙහිව ගෝල 2ක පරතරයක් සහිත ජයක් ලැබූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි 200 වැනි ස්ථානයේ රැඳෙනවා.

මේ හේතුවෙන් ම මෙය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් බැලූ කළ ඉතා විශිෂ්ට ජයක් ලෙස ඉතිහාසගත වනු ඇති.

දෙස්, විදෙස් පාපන්දු පිටිය පිළිබඳ උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<