ක්‍රිකට් සහ මහත්වරු?

696
​Here Few historical incidents happend in cricket history

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව, එහෙමයි හැමෝම කියන්නේ. ඒත් හැමවෙලාවෙ ම ඒක එහෙම ද?

අපි අතීතය විමසලා බලමු, ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන උධෘත පාඨයට පටහැණි ව ගෙවුණු ඉතිහාසයේ දවස් කිහිපයක් පිළිබඳව මතකය අවදි කර ගනිමු.

තරග පාවා දීම්

ක්‍රිකට් විතරක් නෙවෙයි, හැම ක්‍රීඩාවක් ම සමහර විට ක්‍රීඩාවෙන් එහාට ගිහින් අපි නොදන්නා අවසානයක් තියෙන ඕනම සිදුවීමක් වෙනුවෙන් මුදල් ඔට්ටු දැමීම ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිද්ධ වෙන ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන කුප්‍රකට අංගයක් වෙලා අවසන්.

මුදල් ඔට්ටු දැමීම් සමඟම කරළියට එන අනිත් වචනය තමයි පාවා දීම් කියන්නේ.

අපි මේක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසලා බැලුවොත් සමහර විට තරගයේ අවසන් තීරණයට බාධාවක් නොවෙන විදිහේ පොඩි සිදුවීමක් නිපන්දුවක්, වයිඩ් පන්දුවක් යොමු කිරීමේ ඉඳලා තරගයක් පරාජය වෙන තැන වෙන තෙක් ම තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මාර්ගයෙන් ම තරගයක් වෙනස් කරන්න මුදල් ඔට්ටුකරුවන් උත්සාහ කරනවා.

සමහර විට ඒ උත්සාහයන් සාර්ථක වෙනවා, සමහර විට අසාර්ථක වෙනවා.

ඒවායින් සමහරක් ලෝකයා දැන ගන්නවා, සමහර සිදුවීම් කවුරුවත් ම නොදැන කාලයේ වැලි තලාව අස්සෙම වැහිලා යනවා.

1. තරග පාව දීම් කියද්දී මුලින් ම ක්‍රිකට් රසිකයෙක්ගේ ඔළුවට එන නමක් තමයි අද ජීවතුන් අතර නැති හිටපු දකුණු අප්‍රිකානු නායක Hansie Cronje කියන්නේ.

හිටපු දකුණු අප්‍රිකානු නායකයෙක් වෙන Cronjeගේ නම ඉදිරියෙන් තහවුරු නොවුනු සහ වුනු තරග පවා දීම් සිදුවීම කිහිපයක් ම තියෙනවා.

තරගය පැවැත්වුන ක්‍රීඩාංගණයේ ස්වභාවය තරගයට පෙර බුකීකරුවන් වෙත දැනුම් දීමේ සිට තරග පරාජය කරවන්න කියලා ඉල්ලීම් එන තැන තෙක් ම ඔහුගේ නම මේ වගේ සිදුවීම් එක්ක ගෑවිලා තියෙනවා.

මේ හේතු නිසා ඔහුට 2000 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමක් පැනවෙනවා. ඒ වගේම අවාසනාවන්ත ලෙස 2002 වසරේ දී ගුවන් අනතුරකින් ඔහු සිය ජීවිතයෙන් සමුගන්නවා.

ඒ වගේම හිටපු ඉන්දීය නායකයෙක් මෙන්ම තරග පාවා දීමේ චෝදනාවලට වැරදිකරු වෙලා ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක් වුන (පසුව ඔහු ඒ තහනම ඉවත් කර ගත්තා) Mohammad Azharuddinගේ නමත් Cronjeගේ නම එක්කම ගෑවිලා තිබුණ තවත් එක නමක්.

2. හිටපු පාකිස්තාන නායක Salim Malik 2000 වර්ෂයේ දී තරග පාවා දීමේ චෝදනාවක් එල්ල වීම නිසා ජීවිතාන්තය තෙක් තරග තහනමකට ලක් වුනා.

Malik විසින් හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Shane Warneව ද 1994-95 කාලයේ දී තරග පවා දීමකට ඈඳා ගැනීමට උත්සාහ කළ බව පසු කාලයක දී Warne විසින් හෙලි කළා.

3. තරග පාවා දීම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් ම කියවෙන රටක් වන පාකිස්තානය ගැන බොහෝ දෙනෙකුට මතක සිදුවීම වන්නේ 2010 දී එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටිය දී Mohommad Asif, Mohommad Amir සහ Salman Butt යන ක්‍රීඩකයින් තිදෙනා තරග පාවා දීමකට චෝදනා ලැබීමයි.

මෙහි දී Buttට වසර දහයක්, Asifට වසර හතක් (අත් හිටවූ වසර දෙකක් සමඟින්) සහ Amirට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවුනා.

එම සිදුවීමෙන් පසු සිය තහනම් කාලය ගෙවා දැමූ Mohommad Amir නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පවා අවතීර්ණ වූ අතර, පාකිස්තානයෙන් බිහි වීමට ඉඩ තිබූ සුපිරි තම වේගපන්දු යවන්නකු එම සිදුවීමත් සමඟින් ලෝකයට අහිමි වී ගිය බව බොහෝ දෙනෙකු අදටත් කනගාටුවෙන් පවසන කරුණක්.

මෙවැනි බොහෝ තහවුරු වූ සහ නොවූ තරග පාවා දීමේ සිදු වීම් රැසක් මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ තිබීම තරමක් හාස්‍ය දනවන සිදුවීමක්.

Symonds සහ Harbhajanගේ Monkeygate අර්බුදය

2008 වර්ෂයේ දී ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ කළ තරග සංචාරයේ සිඩ්නි හී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Andrew Symonds හට “වඳුරා” ලෙස අමතමින් වර්ගවාදී බැන වැදීමක නිරත වීම නිසා හිටපු ඉන්දීය දඟපන්දු යවන Harbhajan Singh හට තරග තුනක තහනමක් පැනවුනා.

නමුත් මෙම සිදුවීම තරමක් දුර ඇදී ගිය එකක් වූ අතර ඉන්දීය කණ්ඩායම වෙතින් ප්‍රකාශ වුනේ එවැනි වාග් ප්‍රහාරයක් කිසිම විදිහකින් එල්ල නොවුනු බවයි. ඒ වගේම මේ ගැටලු නිසා තරගාවලිය මගින් නවතින තැනට පවා තල්ලු වෙන්න ගත්තා.

ඒ සම්බන්ධ වාද විවාද Andrew Symondsගේ මිය යාමෙන් පසුව පවා විදෙස් මාධ්‍යවල ඇති වුන අතර, 2011 IPL තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම කණ්ඩායමක් (Mumbai Indians) වෙනුවෙන් ද ක්‍රීඩා කළා.

මෙම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා ම එකිනෙකා සමඟ තරමක් සමීප බව පෙන්වීමට උත්සාහ කළත්, 2008 දී ඇති වූ සිදුවීම සහ එවකට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් ලෙස ලොව පුරා එය කතාබහට ලක් වූ අයුරු අමතක කළ නොහැකියි.

මීට අමතරව බොහෝ අවස්ථාවල දී ක්‍රීඩකයින්ට මේ අයුරින් වර්ගවාදී වාග් ප්‍රහාර එල්ල වෙන අවස්ථා කොතෙකුත් ඔබට ක්‍රිකට් පිටියෙන් අසන්නට දකින්න ලැබෙනවා ඇති.

ඒ අතරින් ශ්‍රී ලාංකිකයින් වන අපට කවමදාවත් අමතක නොවෙන සිදුවීමක් තමයි සනත් ජයසූරියට ඕස්ට්‍රේලියාවේ දී එල්ල වුන වර්ගවාදී වාග් ප්‍රහාර සම්බන්ධ සිදු වීම.

තරග විනිසුරුවරයකු සහ කණ්ඩායම් නායකයෙකු අතර ගැටීම

ක්‍රීඩකයෙක් සහ විනිසුරුවරයෙක් අතර මත ගැටීම් ඇති වෙන්න පුළුවන්, ඒත් තරගයක් නතර කෙරෙන මට්ටමට ඒ මත ගැටීම යනවා නම් එතන ගැටලුවක් තියෙනවා.

1987 දෙසැම්බර් 7 වැනිදා ෆයිසලාබාද් වල දී එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගය අතරතුර එංගලන්ත නායක Mike Gatting සහ තරගය විනිශ්චය කරපු Shakoor Rana අතර විශාල මත ගැටීමක් ඇති වුනා.

පන්දු යවන්නා පන්දු යැවීමට දිව එන අතරතුර එංගලන්ත නායකයා පන්දු රකින්නන් සිටින ස්ථාන වෙනස් කරන්න උත්සාහ කළා කියලා Rana විසින් Gattingට චෝදනා කරනවා.

එතැනින් තමයි මේ මත ගැටුම නිර්මාණය වෙන්නේ.

ඒ ගැටුම ගැන පසු කාලයක Rana විස්තර කරන්නේ මේ විදිහට.

“ඔහු මට කළ අපහාසවල හැටියට පාකිස්තානයේ කෙනෙක් නම් මැරෙන්න වුනත් පුළුවන්. ඔහුගේ වාසනාවට මම ඔහුට පහර දුන්නේ නැහැ.”

Rana විසින් Gattingට සමාව ඉල්ලන්න කියලා කියමින්, එහෙම නැති වුනොත් තරගය ඉදිරියට පවත්වා ගෙන යන්නෙ නැහැ කියලත් තර්ජනය කරලා තියෙනවා.

අවසානයේ දී Gattingට සිදු වෙනවා ඒ පිළිබඳ ව සමාව ඉල්ලන්න. ඒක සිද්ධ වෙන්නෙත් විශාල ගැටලු ගණනාවක් මධ්‍යයේ.

මේ සිදුවීමෙන් මාස හයකට පසුව Gattingට එංගලන්ත නායකත්වයත් අහිමි වෙනවා.

ඒ වගේම Rana කියන්නේ මේ සිදුවීමට කලින් ඉඳන් ම වසර දහයක පමණ සිට මතභේදකාරී විනිසුරු තීරණ ලබා දීමට මැදිහත් වුන විනිසුරුවරයෙක්.

අද මේ සිදුවීම් ගැන කියවද්දී ගොඩක් රසවත් වගේ දැනුනත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය දැඩි ලෙස අවපාත වුන සිදු වීමක් විදිහට තමයි මේක සැලකෙන්නේ.

Dennis Lillee කියන්නෙත් අතීත ක්‍රිකට්වල කතා මවපු චරිතයක්

  1. Javed Miandad සමඟ ඇති කර ගත් සුප්‍රසිද්ධ ගැටුම

Javed Miandad කියන්නේ පාකිස්තානයෙන් ක්‍රිකට් ලෝකයට බිහි වුන දක්ෂ පිතිකරුවෙක්, ඒ වගේම කුකුල් කේන්තිකාරයෙක්.

අන්න ඒ Miandad සහ අපේ කතානායකයා Lillee දෙන්නා එකිනෙකා මුණ ගැහෙනවා 1981/82 තරගය සමයේ දී ඕස්ට්‍රේලියාවේ WAKA ක්‍රීඩාංගණයේ දී.

තරගය අතරතුර ලකුණක් සඳහා දිව යන Miandadගේ ඇඟේ Lillee හිතා මතාම ස්පර්ශ වෙනවා, ඒ එක්කම Miandad විසින් Lilleeව ඇගෙන් ම තල්ලු කරලා දානවා.

සිදුවීම ආරම්භ වෙන්නේ ඒ විදිහට.

ඊට මොහොතකට පස්සේ තමන් ව තල්ලු කරපු Miandadට Lillee විසින් පා පහරක් එල්ල කරනවා, නැවත Lilleeගේ දෙසට Miandad හැරෙන්නේ නිකන් නෙවෙයි, අතේ තිබුණු ක්‍රිකට් පිත්ත උස්සලා පහර දෙන්න සූදානම් වෙමිනුයි.

මේ වගේ ගැටීම් තව සෑහෙන්න ප්‍රමාණයක් වෙන් වෙන් වශයෙන් විස්තර කරලා ලිපි එකතුවක් වුනත් පල කරන්නත් පුළුවන්.

හැබැයි ඒ අතරින් මේක ගොඩක් සුවිශේෂී සහ කතාබහට ලක් වුන සිදු වීමක්.

2. Lilleeගේ ඇලුමිනියම් පිත්ත

නීතියේ හිල් අස්සෙන් රිංගලා යන එක කෙනෙක් සතු වෙන කපටි බුද්ධිය කියලා හඳුන්වලා දෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් අවිනීතකම කියලා හඳුන්වන්නත් පුළුවන්.

1979 දී ඕස්ට්‍රේලියාවේ WAKA ක්‍රීඩාංගණයේ දී ම එංගලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගයකට පිතිකරණයේ යෙදෙන්න ආපු Dennis Lillee පිටියට රැගෙන එන්නේ ඇලුමිනියම් පිත්තක්.

ඒ කාලයේ ක්‍රිකට් නීතිවල කොහේවත් තැනක ලී වලින් හදපු ක්‍රිකට් පිත්තක් අනිවාර්යයෙන් ම පාවිච්චි කරන්න අවශ්‍ය බවට නීතියක් තිබුණේ නැහැ, ඒ වගේම කොහේවත් ඇලුමිනියම් පිත්තක් භාවිත කිරීම නීත්‍යනුකූලයි කියලා තිබුනෙත් නැහැ.

අන්න ඒ නීතියේ අහු වුන හිලෙන් තමයි Lillee විසින් මේ විදිහට ඇලුමිනියම් පිත්තක් අර ගෙන පිටියට එන්නේ.

ඔහු ඒ පිත්තෙන් ලකුණු කිහිපයක් රැස් කරනවා, ඒ පිත්ත මාරු කරන්න කියලා ඔහුගේ කණ්ඩායම් නායකයාගෙන් පවා ඉල්ලීම් ලැබෙනවා. නමුත් ඔහු වෙනසක් කරන්නෙ ම නැහැ.

නමුත් ටික මොහොතකින් එංගලන්ත පාර්ශවයෙන් චෝදනාවක් එනවා මේ පිත්ත නිසා පන්දුවට හානි වෙනවා කියලා.

කොහොම හරි Lilleeට සිද්ධ වෙනවා විලෝ පිත්තකට මාරු වෙන්න.

ඔහු තමන්ට එල්ල වුන විරෝධයට ප්‍රතිචාරය විදිහට කරන්නේ ක්‍රීඩා පිටියේ ඉඳලා ක්‍රීඩාගාරය දිශාවට යාර 40ක් පමණ තමන්ගේ ඇලුමිනියම් පිත්ත විසි කරලා දාන එකයි.

ගෙවුන කාලය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වගේ වෙනස්, අමුතු සමහර වෙලාවට අප්‍රසන්න සිදු වීම් සෑහෙන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ ඉන් කිහිපයක් විතරයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වුන මෙවැනි ම වෙනස් විශේෂ සිදුවීම් පිළිබඳ තවත් ලිපි ඔබ වෙත ගෙන එන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<