2022 BPL ශූරතාවයේ හිමිකම එක් ලකුණකින් තීන්දු වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

2406

තියුණු තරගයකින් පසුව ලකුණක ජයග්‍රහණයක් වාර්තා කරමින් 2022 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Comilla Victorians කණ්ඩායම ඊයේ (18) සමත් වුනා.

BPL ක්‍රිකට් ඉතිහාසයේ Comilla Victorians ශූරතාවය දිනා ගත් තුන්වැනි අවස්ථාව මෙයයි. Victorians හමුවේ අවසන් තරගය පරාජයට පත් වෙමින් මෙවර තරගාවලියේ අනුශූරයන් බවට පත්වුණේ Shakib Al Hasan නායකත්වය දැරූ Fortune Barishal කණ්ඩායමයි.

Mirpur හි Shere Bangla ජාතික ක්‍රීඩාංගණයේ පැවති මේ තීරණාත්මක අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට Comilla කණ්ඩායමේ නායක Imrul Kayes සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

Fortune Barishal XI: Shakib Al Hasan (නායක), Munim Shahriar, Chris Gayle, Najmul Hossain Shanto, Tawhid Hridoy, Dwayne Bravo, Shykat Ali, Nurul Hasan Shohan, Mujeeb Ur Rahman, Shafiqul Islam, Mehedi Hasan Rana

Comilla Victorians XI: Imrul Kayes (නායක ), Liton Das†, MD Ariful Haque, Mustafizur Rahman, Abu Haider Rony, Tanvir Islam, MD Shohidul Islam, Mahmudul Hasan Joy, Sunil Narine, Moeen Ali, Faf du Plessis

ඒ අනුව පිටියට පිවිසි Comilla Victorians නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 151ක්.

ආරම්භක පිතිකරු Sunil Narine ප්‍රතිවාදි Fortune Barishal පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 23ක දී ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් වුනා. ඔහු සිය අර්ධ ශතකය පන්දු 21ක් තුල වාර්තා කිරීම විශේෂත්වයක්. Narineගේ මෙම සුපිරි ඉනිමට හයේ සහ හතරේ පහර 5ක් ඇතුළත් වුනා.

Moeen Ali පන්දු 32ක දී ලකුණු 38ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියා. Abu Haider ලකුණු 19 (27)යි. Faf du Plessis හට මේ තරගයේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 4ක් පමණයි.

පන්දු යැවීමේ දී Mujeeb Ur Rahman සහ Shafiqul Islam අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ඊට අමතරව නායක Shakib, Dwayne Bravo සහ Mehedi Hasan Rana එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ලකුණු 152ක සටන්කාමී ඉලක්කයක් හඹා ගිය Fortune Barishal කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150ක් පමණයි.

ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ Shykat Ali පන්දු 34ක දී වේගවත් ලකුණු 58ක් රැස්කළා. Chris Gayle ලකුණු 33 (31)යි. නායක Shakib හට ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි.

ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සදහා Fortune Barishal කණ්ඩායමට ලකුණු 3ක් අවශ්‍ය වුනා. එම පන්දුවට මුහුණ දුන් Towhid Hridoy පහරක් එල්ල කළත් එය එතරම්ම සාර්ථක නොවුණු නිසා ඔවුන්ට අවශ්‍ය වූ ලකුණු 3න් අවම වශයෙන් ලකුණු 2ක් හෝ ලබා ගනිමින් තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යාමට දැරූ උත්සාහාය ව්‍යර්ථ වුනේ Mujeeb Ur Rahman දුවද්දී දවා ගැනීමට Victorians සමත් වීමත් සමඟයි.

පන්දු යැවීමේ දී Sunil Narine ලකුණු 15කට කඩුලු 2ක් බිඳ හෙලමින් දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා. Tanvir Islam ද කඩුලු 2ක් දවා ගත්තා. වේගපන්දු යවන Mustafizur Rahman සහ Shohidul Islam අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<