සුමංගල ක්‍රීඩකයින්ගේ පල්ලෙකැලේ ආක්‍රමණය අසාර්ථකයි

ත්‍රිත්ව විද්‍යාලයේ සුහද රග්බි තරගාවලිය 2021

499

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය සුහද රග්බි තරගාවලියේ පළමුවැන්න අද (15) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර සුමංගල විද්‍යාලය අතර පැවති එම තරගය ලකුණු 46-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ත්‍රිත්ව ක්‍රීඩකයින්ගේ පා පහරින් ආරම්භ වූ අතර මුල් මිනිත්තු කීපය තුළ ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට සුමංගල ක්‍රීඩකයන් සමත් වුනා. ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ අත්වැරදීම් උපයෝගී කරගමිනින් තරගයේ පළමු ලකුණු රැස්කිරීමට මොහොමඩ් අර්ෆත්ට හැකි වුනා. කෙසේ වෙතත් ඔහුගේ පා පහර සාර්ථක වූයේ නැහැ.

අර්ෆත්ගේ මගහැරුණු පා පහර උපයෝගි කර ගත් ටෙවින් කරුණාරත්න ත්‍රිත්ව කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වුනේ උත්සාහක දිනුමක් සමඟින්. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැහැ. (ත්‍රිත්ව 05-00 සුමංගල)

තරගයේ මුල් මිනිත්තු 20 තුල ත්‍රිත්ව කණ්ඩායමේ අත්වැරදීම් කීපයක් සිදු වූ අතර ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට සුමංගල කණ්ඩායම සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් 20 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සුමංගල ක්‍රීඩකයන් සිය සීමා ඉර ආසන්නයේ තිබූ පන්දුව ප්‍රතිවාදීන් මඟ හැර යමින් ත්‍රිත්ව සීමා ඉර පසු කරමින් පතිත කිරීමට සමත් වුනා.

අර්ෆත්ගේ ප්‍රබල දස්කම් හමුවේ එම උත්සාහක දිනුම වාර්තා කිරීමට ඉශාන් ශ්‍රීනාත් සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් අර්ෆත් සුමංගල ලකුණු පුවරුව ලකුණු 07ක් බවට පත්කළා. (ත්‍රිත්ව 05-07 සුමංගල)

24 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ සුමංගල ක්‍රීඩකයන් තරගයේ දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනේ ත්‍රිත්වයින් අසරණ කරමින්. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් අර්ෆත් සුමංගල ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක් කළා. (ත්‍රිත්ව 05-14 සුමංගල)

තරගයේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී ලකුණු රැස්කිරීමට ත්‍රිත්ව කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත් නමුත් එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට සුමංගල ක්‍රීඩකයන් සමත් වුනා.

ඉන් නොනැවතුනු ඔවුන් පන්දුව ත්‍රිත්ව සීමා ඉර ආසන්නයටම ගෙන ඒමට සමත් වූ අතර 30 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් උපයෝගී කරගමිනින් ලකුණු රැස්කිරීමට අර්ෆත්ට අවස්ථාව හිමි වුනා. නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පළමු අර්ධය නිමා වීමට පෙර ලකුණු රැස්කිරීමට ආසන්න අවස්ථා කීපයක් ත්‍රිත්ව කණ්ඩායමට හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

33 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ ත්‍රිත්ව කණ්ඩායමේ තිදස් තන්ත්‍රිගේ දිගු වේලාවක් නිහඬව තිබූ ත්‍රිත්ව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වුනා. ඒ උත්සාහක දිනුමක් සමඟින්. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර ත්‍රිත්ව කණ්ඩායමට ලකුණු 10කින් සෑහීමකට පත්වීමට සිදු වුනා. (ත්‍රිත්ව 10-14 සුමංගල)

තරගයේ පළමු අර්ධය නිමාවීමට පෙර සුමංගල ක්‍රීඩක වෙත කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන්.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වුනේ සුමංගල කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමිකර දෙමින්.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 10 (2T) – 14 (2,T, 2C) සුමංගල විද්‍යාලය

සුමංගල කණ්ඩායමේ පා පහරින් ආරම්භ වූ දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වුනා. කෙසේ වෙතත් 39 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ කවීෂ එඩමා ත්‍රිත්ව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තමුදිත දොඩම්වත්ත අතිරේක ලකුණු එක් කිරීමට සමත් වුනා. (ත්‍රිත්ව 17-14 සුමංගල)

තරගයේ පළමු අර්ධයේ දී ත්‍රිත්ව කණ්ඩායමෙන් ගිලිහී ගිය තරගයේ ආධිපත්‍යය නැවතත් ලබා ගැනීමට ත්‍රිත්වයින් ප්‍රබල උත්සාහයක නිරත වුනා.

සිය ආක්‍රමණය තවත් දැඩි කළ ත්‍රිත්වයින් සිය සිව්වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනා. එම උත්සාහක දිනුම දුලාර අලවත්තේගම විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තමුදිත දොඩම්වත්තට හැකි වුනා. (ත්‍රිත්ව 24-14 සුමංගල)

සිය ආක්‍රමණය තවත් දැඩි කළ ත්‍රිත්ව කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ සුමංගල කණ්ඩායම අසරණ කරමින්. ටෙවින් විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත් තමුදිත ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 30 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වුනා. (ත්‍රිත්ව 31-14 සුමංගල)

තරගය නිමා වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ත්‍රිත්ව කණ්ඩායම සමත් වුනා. එම උත්සාහක දිනුම මොහොමඩ් ශාබීත්ගේ නම ඉදිරියේ සටහන් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර ත්‍රිත්ව ලකුණු පුවරුව ලකුණු 36ක් ලෙස සටහන් වුනා. (ත්‍රිත්ව 36-14 සුමංගල)

තරගය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ත්‍රිත්ව කණ්ඩායම ප්‍රබල උත්සාහයක නිරත වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස හර්ශ සමරසිංහ ත්‍රිත්ව ලකුණු පුවරුවේ හත්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. තමුදිතගේ පා පහර එවර සාර්ථක වූයේ නැහැ. (ත්‍රිත්ව 41-14 සුමංගල)

තරගයේ අවසන් මිනිත්තුවේ දී තමුදිත එල්ල කළ අලංකාර පා පහරක් උත්සාහක දිනුමක් බවට පත්කිරීමට මිනිඳු ජයසුන්දරට හැකි වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 46-14ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගයේ වීරයා – ටෙවින් කරුණාරත්න

අවසන් ලකුණු තත්ත්වය: ත්‍රිත්ව විද්‍යාලය 46 (8T, 3C) – 14 (2T, 2C) සුමංගල විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්:

  • ත්‍රිත්ව විද්‍යාලය 46 (8C, 3C): ටෙවින් කරුණාරත්න (2T), තිදස් තන්ත්‍රිගේ (1T), කවීෂ එඩමා (1T), දුලාර අලවත්තේගම (1T), මොහොමඩ් ශාබීත් (1T), හර්ශ සමරසිංහ (1T), මිනිදු ජයසුන්දර (1T), තමුදිත දොඩම්වත්ත (3C)
  • සුමංගල විද්‍යාලය (2T, 2C): ඉශාන් ශ්‍රීනාත් (1T), මොහොමඩ් අර්ෆත් (2C)

ත්‍රිත්ව කණ්ඩායම සහභාගි වන දෙවැනි සුහද රග්බි තරගය එළඹෙන ජනවාරි 26 වැනිදා ධර්මරාජ විද්‍යාලය සමඟින් පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එම තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර ජනවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම සියලු තරග තොරතුරු සහ සජීවී විකාශයන් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<