Umpires Call නීතිය වෙනස් නොකරන්න තීරණයක්

704
ICC backs on Umpires Call rule

පසුගිය කාලය තුළ වඩාත් කතාබහට ලක්වූ Umpires Call අවස්ථාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විශේෂ අවධානයක් යොමුකර තිබුනා. කෙසේවෙතත් එම තාක්ෂණය සහ වත්මන් නීති වෙනස් නොකිරීමට ඔවුන් මූලික වශයෙන් තීරණය කර තිබෙනවා. 

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව සහ අතීත ක්‍රිකට් ක්‍රීඩාව සසඳන විට දක්නට ලැබෙන කැපී පෙනෙන වෙනස්කමක් ලෙස විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීම හෙවත් DRS තාක්ෂණය දැක්විය හැකියි. මෙම තාක්ෂණය තුළ වඩාත් කතාබහට ලක්වූ Umpires Call පිළිබඳව ක්‍රීඩකයන් කිහිපවරක්ම අදහස් දක්වා තිබුනා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ද එයයි. ඒ අනුව Anil Kumbleගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඒ පිළිබඳව දීර්ඝ සොයා බැලීමක් සිදුකළා. ඒ සඳහා විනිසුරුවන්, තරග තීරකවරුන් සහ තරග විකාශයකින් එක්ව සිටියා. එලෙස පැවති සාකච්ඡා වලදී වත්මන් තීරණ සහ නීති වෙනස් නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එම සාකච්ඡාවේ දී ගත් තීරණ එළඹෙන සතියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ පිළිබඳව ESPNcricinfo වෙබ් අඩවිය විශේෂ වාර්තාවක් සපයා තිබුනා. ඔවුන් මීට පෙර වාර්තා කළේ Umpires Call නීතිය වෙනස් කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බවයි. ඒ මෙම මස මුලදී පැවති සාකච්ඡාවක් අනුවයි. කෙසේවෙතත් ඉන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලා නිසි වාර්තාවක් සැපයීමට කමිටුවක් පත්කෙරුනා

පසුගිය සඳුදා පැවති ඉන්දීය – එංගලන්ත එක්දින තරගය අවසන් වීමෙන් පසු ඉන්දීය නායක Virat Kohli ද Umpires Call නීතිය පිළිබඳව අදහස් දක්වා සිටියා. ඔහු එහිදී පවසා සිටියේ මෙම නීතිය තරග වලදී තරමක් ව්‍යාකූල වන බවයි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික නීති සහ සාමාන්‍ය දැනීම සැලකීමේ දී දැවී යාමක් ලබාදීමට කඩුල්ලෙන් කිනම් ප්‍රමාණයක පන්දුව ගැටෙන්නේ දැයි බැලීම අනවශ්‍ය බවයි. 

කෙසේවෙතත් Anil Kumbleගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවේ දී මෙම Umpires Call නීතිය වෙනස් නොකිරීමට තීරණය වී තිබෙනවා. මෙම විශේෂ කමිටුව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ලෙස Andrew Strauss, Rahul Dravid, මහේල ජයවර්ධන සහ Shaun Pollock සහභාගී වුනා. ඊට අමතරව තරග තීරකවරුන් නියෝජනය කරමින් රන්ජන් මඩුගල්ල සහභාගී වුනා. මෙම කමිටුව සඳහා විනිසුරුවන්ද සහභාගී වූ අතර එයට Richard Illingworth සහ Mickey Arthur සහභාගී වී සිටියා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම කමිටුව සිය අවසන් තීරණය ගෙන තිබෙනවා. එහිදී මෙම නීතිය වෙනස් නොකිරීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ball tracking තාක්ෂණය සෑමවිටම 100%ක් නිරවද්‍ය නොවීමයි. එහිදී මෙම තාක්ෂණයේ ඵලදායිතාවය, එහිදී ඇතිවූ වැරදීම් පිළිබඳව අධ්‍යනය කර තිබෙනවා. 

මෙම කමිටුව සිය සාකච්ඡා සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාර්ශවකරුවන් කිහිපදෙනෙකු ද සම්බන්ධ කරගෙන තිබෙනවා. MCC ඉන් ප්‍රධානයි. එහිදී MCCහි සාමාජිකයන් කිහිපදෙනෙකු මෙම නීතිය සංශෝධනය කළ යුතු බව පවසා තිබෙනවා. එහිදී ඔවුන්ගේ අදහස වී ඇත්තේ එවැනි අවස්ථාවක දී සෘජුවම පිතිකරුවා දැවී ගිය ක්‍රීඩකයෙකු හෝ නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස නම් කළ යුතු බවයි. 

නිමාවූ ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය තුළ මෙම Umpires Call නීතිය පිළිබඳව වඩාත් කතාබහට ලක්වුනා. එහිදී පැවති තරග 4 තුළදී විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීම් හෙවත් DRS අවස්ථා ලබාගැනීම් 65ක් වාර්තා වුනා. ඉන් අවස්ථා 53ක දී විනිසුරු තීරණ නොවෙනස් වුනා. එම අවස්ථා 53 අතුරින් අවස්ථා 16ක්ම Umpires Call අවස්ථා වීම විශේෂත්වයක්.  

DRS තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමේ දී එයට අවසානයේ දී එකඟවූ රට වන්නේ ද ඉන්දියාවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එම තාක්ෂණයේ නිරවද්‍යතාව සහ ඵලදායිතාවය පිළිබඳව නිසි වාර්තාවක් සපයන තුරු ඉන්දියාව එයට එකඟ වුනේ නැහැ. 

ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් Massachusetts Institute of Technology සමඟින් එක්ව මෙම තාක්ෂණය පිළිබඳව විශේෂ වාර්තාවක් සපයා තිබුනා. ඒ එම විශ්වවිද්‍යාලයේ Field Intelligence Unitහි ඉන්ජිනේරුවන්ගේ දායකත්වයෙන්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<