පැතුම්, භානුක සහ ගුණතිලක යන්න කලින්ම වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

9897

එළඹෙන කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයක් තෝරාගැනීම වෙනුවෙන් අද (17) කොළඹ SSC පිටියේ දී විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වුනා. එහි දී දසුන් ශානක සහ ඉසුරු උදානගේ නායකත්වය යටතේ කණ්ඩායම් දෙකක් සහභාගී වුනා.

කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක උදානගේ කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීම සඳහා අවස්ථාව ලබා දුන්නා. එහි දී ඕෂද ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15 බැගින් ලබා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. 

පසුව පිටියට පැමිණි භානුක රාජපක්ෂ පන්දු 28ක දී වේගවත් ලකුණු 50ක් වාර්තා කළේ දැවැන්ත 6 පහර 4ක් සහ 4 පහර 5ක් එල්ල කරමින්. අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30ක් ලබා ගනිමින් සිය අන්තය රැකගත්තේ භානුකට සිය ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින්.

කෙසේ නමුත් පන්දු යැවීමේ දී වැඩි දස්කමක් දැක්වූ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවාගන්නා විට, නුවන් ප්‍රදීප් , අකිල දනංජය සහ වනිඳු හසරංග අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ඊට අමතරව නායක දසුන් ශානක එක් කඩුල්ලක් දවගත්තා.

උදානගේ කණ්ඩායම එක මොහොතක පන්දුවාර 11ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබාගෙන සිටි නමුත් ඔවුන්ට සිය පන්දුවාර විස්ස අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 143ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලැබුණු යොවුන් ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක දනුෂ්ක ගුණතිලක හා එක්වෙමින් ඉතාමත් සාර්ථක ඉනිමක් ගොඩනැංවූයේ පන්දුවාර 17ක් තුල ඔවුන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි. 

එහි දී පැතුම් 4 පහර 4ක් සමඟ පන්දු 38ක් තුල ලකුණු 40ක් ලබා ගත් අතර ගුණතිලක පන්දු 55ක් තුල වේගවත් ලකුණු 82ක් ලබා ගන්නා ලදි. එම ඉනිම සඳහා 4 පහර 5ක් සහ 6 පහර දෙකක් අන්තර්ගත වුනා.

මේ තරගය සඳහා ක්‍රීඩා කළේ පසුගිය දා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වී ඉන් සමත් වූ ක්‍රීඩකයින් පමණයි. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරනු ඇති අතර ඉන් පසුව කොදෙව් සංචාරය සඳහා යන ශ්‍රී ලංකා සංචිතය නම් වනු ඇත.

විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ මස 23 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<