ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට රජයේ අනුමැතිය

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2020/21

273
India tour of Australia 2020

ලබන මස අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවසරය හිමිව ඇත.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම මෙම තරගාවලිය සඳහා තරග වදින ඉන්දීය කණ්ඩායම සහ IPL තරගාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව ඇත.

මෙම තරග සංචාරයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව සහ නිරෝධායන දින ගණන, පුහුණු සැසි ලබා දීම යන කරුණු කාරනා කෙරෙහි ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සහ එරට රජයේ අවසරය හිමිව තිබෙන අතර එය ඉන්දීය ක්‍රිකට් ආයතනයට ඉදිරි දින කිහිපය තුල දී ලබා දීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

නොවැම්බර් මස 27 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම දීර්ඝ ක්‍රිකට් තරගාවලිය සඳහා ICC ලෝක කුසලාන එක්දින සුපර් ලීගයේ තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග හතරක් ඇතුළත් වේ.

එහි පළමු එක්දින තරග දෙක පිළිවෙළින් නොවැම්බර් 27 සහ 29 සිඩ්නි හිදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය Manuka Oval හිදී පැවැත්වේ. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 4 වැනිදා Manuka Oval හිදී පැවැත්වීමට නියමිත අතර එම විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග දෙක දෙසැම්බර් 6 සහ 8 සිඩ්නි හිදී පැවැත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සඳහා අවසර ලැබී තිබේ.

තරග 4කින් සමන්විත තීරණාත්මක සහ බොහෝ අවධානය දිනා ගන්නා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය Adelaide Oval හිදී පැවැත්වෙන අතර එය රෝස පන්දුවෙන් පැවැත්වෙන දිවා රාත්‍රි ටෙස්ට් තරගයකි. 

ඊට අමතරව පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 31 දක්වා පැවැත්වෙන අතර එම තරගය පැවැත්වීම වෙනුවෙන් දැනට MCG ක්‍රිකට් පිටිය සූදානම් කර තිබේ. 

නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තියක් හෝ බලපෑමක් නිසාවෙන් එම තරගය  MCG හිදී පැවැත්වීමට නොහැකි වන්නේ නම් දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන Adelaide Oval හිදී තුන්වැනි ටෙස්ට් තරගය ද පැවැත්වෙනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන,

  • පළමු එක්දින තරගය – නොවැම්බර් 27 – සිඩ්නි හිදී
  • දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 29 – සිඩ්නි හිදී
  • තෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 1 – Manuka Oval හිදී
  • පළමු විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 4 – Manuka Oval හිදී
  • දෙවන විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 6 – සිඩ්නි හිදී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 8 – සිඩ්නි හිදී
  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 17-21 – Adelaide Oval හිදී
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 26-30  – MCG හිදී
  • තෙවැනි ටෙස්ට් තරගය – ජනවාරි 7-11 – සිඩ්නි හිදී
  • සිව්වැනි ටෙස්ට් තරගය – ජනවාරි 15-19 – බ්‍රිස්බේන් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<