නවසීලන්ත කාන්තා කණ්ඩායමත් තීරණයක් ගනියි

94

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තිබූ තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ මේ වන විට ලොව පුරා පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙනි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් කල් යන ලකුණු!

දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් එළඹෙන ජුනි මස ආරම්භයේ දී පැවැත්වීමට …….

ඊට අමතරව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නෙදර්ලන්ත, ස්කොට්ලන්ත, අයර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් යන කාන්තා කණ්ඩායම් සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන ක්‍රිකට් තරගාවලි පවා පැවැත්වීම යම් ගැටලුකාරී තත්වයකට පැමිණ තිබේ. 

“නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස කිහිපයේ දී ගොඩක් තරගාවලි පවත්වන්න වගේම ක්‍රීඩා කරන්නත් සැලසුම් කරලා තිබ්බා. නමුත් මේ Covid-19 වසංගත තත්වය නිසා ගොඩක් රටවල් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් හරි අගුළු දමා තිබෙන්නේ, අපේ රටේ තත්වයත් ඒ වගේ. 

ඒක නිසා ශ්‍රී ලංකා තරග සංචාරය දැනට තිබෙන තත්වය මත ක්‍රීඩා කරන්න බැරි නිසා ඒක දින නියමයක් නොමැතිව කල් යනවා. අනික් තරගාවලි ගැනත් අපිට දැන්මම හරියට කියන්න බැරි වුනත්, ඒ තරගාවලි වුනත් තියෙන්නේ ලොකු ගැටලුකාරී තැනක.” යැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු ප්‍රධානී ඩේවිඩ් වයිට් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ICC ලෝක මට්ටමේ තරග රැසකටත් රතු එළි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින……..

මීට අමතරව මෙම වසරේ ජූලි මස 3 වැනිදා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ද, ඇතිව තිබෙන මේ වසංගත තත්වය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව ද ICCය විසින් මාර්තු මස 26 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ නමුත් මේ වන විට 50,000කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි කරමින් පැතිර යන මෙම Covid-19 වසංගත තත්වය නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන ජාත්‍යන්තර මට්ටමේ සහ දේශීය මට්ටමේ ක්‍රිකට් තරගාවලි බොහෝමයක් දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<