“ඒක (විනිසුරු තීරණය) විසුළු තීරණයක්” – විරාත් කෝලි

984
@deccanherald.com

ඊයේ (28) අවසන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට (RCB) එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් (MI) IPL ක්‍රිකට් තරගයේ දී ලසිත් මාලිංග විසින් යැවූ අවසන් පන්දුව නිපන්දුවක් වුවද එය විනිසුරු ඇසට හසුවූයේ නැත. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 6කින් වීම නිසා ඒ නිපන්දුව වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර RCB නායක විරාත් කෝලි ද ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණි.

ලසිත් මාලිංග විසින් යැවූ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා RCB කණ්ඩායමට ලකුණු 7ක් ද, සුපිරි පන්දුවාරයකට තරගය රැගෙන යාම සඳහා ලකුණු 6ක් ද අවශ්‍ය විය. එහි දී මාලිංග විසින් යැවූ ෆුල්ටොස් පන්දුවට  ෂිවම් ඩූබේ විසින් වාර්තා කළේ එක් ලකුණක් පමණි. එහෙත් එය නිපන්දුවක් බව දකින්නට ලැබුණේ විනිසුරුවන් අතින් නොව, දැවැන්ත පුළුල් තිරය මතයි. වත්මන් ක්‍රිකට් නීතිය යටතේ පවතින නිදහස් පහරේ නීතිය (Free hit) නිසා අදාළ නිපන්දුව විනිසුරු විසින් සටහන් වූයේ නම්, A. B. ඩිවිලියර්ස් අතින් ඕනෑම දෙයක් සිදුවන්නට තිබූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

“අපි ක්‍රීඩා කරන්නේ IPL මට්ටමේ. මේක අන්තර් සමාජ මට්ටම නොවෙන නිසා විනිසුරුවන් ඔවුන්ගේ ඇස් ඇරගෙන සිටිය යුතුයි. ඒක විශාල නිපන්දුවක්. ඒක (විනිසුරුගේ තීරණය) විසුළු තීරණයක්. ඒක සුළු පරතරයක තරගයක්. මට තේරෙන්නේ නෑ මොනවද වෙන්නේ කියලා. ඔවුන් තවත් තියුණු සහ ප්‍රවේසම් විය යුතුව තිබුණා.” තරග සම්මාන ප්‍රදානෝත්සවය අතරතුර දී විරාත් කෝලි කීවේය.

දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම් …

මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ද…

ICC උසස් විනිසුරුවන්ගේ මණ්ඩලයට ඇතුළත් එකම ඉන්දියානු විනිසුරු වන S. රවී අතින් සිදු වූ දෝෂය ගැන ජයග්‍රාහී නායක රෝහිත් ශර්මා ද අදහස් දක්වා තිබුණි.

“අවංකවම මමත් ඒක දැන ගත්තේ හතරේ සීමාවෙන් පිටතට පැමිණි පසුවයි. මේ වගේ වැරදි ක්‍රීඩාවට හොඳ නැහැ. බුම්රා විසින් යැවූ ඊට පෙර පන්දු වාරයේදීත් වයිඩ් නැති පන්දුවක් වයිඩ් පන්දුවක් ලෙස සටහන් වුනා.” එම වරද සිදු වූයේ විනිසුරු C. නන්දන් අතිනි.

මෑත කාලීනව තාක්ෂණය කෙතරම් දියුණු වූවද නිපන්දු හසුකරගැනීමේ විනිසුරු ඇස යම්තාක් අක්‍රිය වී ඇති බව කිවහැකිය. දැවී යාමක් ලෙස සටහන් වන පිතිකරුවන් බොහෝ දෙනෙකු දැවී යාමෙන් පසුව එය නිපන්දුවක්ද නැද්ද විමර්ශනය කරන අවස්ථා අප වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කොතෙකුත් දැක ඇත. එමෙන්ම ක්‍රීඩාගාරය වෙත යමින් සිටි පිතිකරුවන් නැවත කැඳවන අයුරු ද අප දැක ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<