දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

985

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 123ක් රැස් කරගෙන සිටියි.

මීට පෙර ශ්‍රී ලංකා පිළේ වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු ආබාධවලට ලක්වූ අතර අද එම “ආබාධ ලැයිස්තුවට” ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත් විය. පැට් කමින්ස් යැවූ පන්දුවක් හිසේ වැදීම නිසා ඔහුව රෝහල වෙත යොමු කෙරුණු අතර මේ වන විටත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ..

අද උදෑසන තරගය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 384ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිළට අද දිනයේදීත් හැකි නොවීය. කෙසේ වෙතත් ඊයේ දිනයේ දැඩි හිසරදයක් බවට පත්වූ ආරම්භක පිතිකරු ජෝ බර්න්ස්ව දවා ගැනීමට නම් ඔවුන්ට වාසනාව උදා විය. එම කඩුල්ල හිමි වූයේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතටයි. ඔහු පිට ඉන්නට මදක් ඈතින් යැවූ පන්දුවට දැඩි ආත්ම විශ්වාසයකින් සිටි බර්න්ස් එතරම් සැලකිල්ලකින් තොරව පිත්ත යොමු කළ අතර පන්දුව පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳ දැම්මේය. ඒ අද තේ පානය දක්වා බිඳ වැටුණු එකම කඩුල්ලයි!

දැවී යන විට ජෝ බර්න්ස් ලකුණු 180ක් රැස්කර ගෙන සිටියේ ඔහුගේ සිව්වැනි ටෙස්ට් ශතකය ලෙසයි. ඔහුගේ දැවැන්ත ඉනිමට හතරේ පහර 27ක් ඇතුළත් විය. කෙසේ නමුත් මෙම කඩුල්ල දවා ගැනීමෙන්වත් ඕස්ට්‍රේලියානු පසුපෙළ විවර නොවූ අතර පිටියට පිවිසි නායක ටිම් පේන් නොබිඳුණු ලකුණු 130ක සබඳතාවයකට සහයෝගය ලබා දුන්නේය. ඒ අනෙක් අන්තයේ රැඳී සිටි නවක ක්‍රීඩක කර්ටිස් පැටර්සන් හා එක්වෙමිනි. පැටර්සන් අද තම මංගල ටෙස්ට් ශතකය ලෙස නොදැවී ලකුණු 114ක් රැස්කර ගත්තේ පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු පිළේ ශතකලාභීන් තිදෙනා බවට පත්වූ බර්න්ස්, හෙඩ් සහ පැටර්සන් යන තිදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවල දී උඩපන්දු ලබා දුන්න ද ඒවා නිසි පරිදි රැක ගැනීමට අපොහොසත් වීම නිසා අවසානයේ ඔවුන් ශතක සමරන අයුරු බලා සිටින්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද සිදු විය. ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් අවස්ථා තුන හතර ලබා නොදෙන බවත් ලැබෙන පළමු අවස්ථාවෙන්ම කඩුල්ල ඩැහැ ගැනීම ඉතාමත් වැදගත් බවත් මෙම සිදුවීම නිසා හෝ තේරුම් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුවහොත් ඉදිරි තරග පිළිබඳව හෝ බලාපොරොත්තුවක් තැබිය හැකි වනු ඇත.

වැරැද්ද හදාගන්න අකිල සූදානමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අකිල දනංජය ඔහුගේ පන්දු යැවීමේ..

අද ඕස්ට්‍රේලියානු පිළ ලකුණු 534ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට නායක ටිම් පේන් කටයුතු කළ අතර ඔහු තම අර්ධ ශතකය වාර්තා කිරීම ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. ඉනිම අත්හිටු වන විට ඔහු හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටියේය. පන්දු යැවීමේ දී එකම සාර්ථක පන්දු යවන්නා ලෙස සැලකිය හැකි විශ්ව ප්‍රනාන්දු ලකුණු 126කට කඩුලු 3ක් දවා ගත්තේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳ වැටුණු ඉතිරි කඩුලු 2 කසුන් රාජිත සහ චාමික කරුණාරත්න අතරේ බෙදී ගියේය.

ඕස්ට්‍රේලියානුවන් ඉනිම අත්හිටුවීමත් සමඟ තේ පානයට පෙර පන්දුවාර 13ක් සඳහා පිතිකරණයේ යෙදෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය. වාසනාවකට ඒ අතරතුරේ දී කඩුලු කිසිවක් දැවී නොගිය අතර ඒ වන විට ශ්‍රී ලංකාව තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 47ක් රැස් කරගෙන සිටියේය. තේ පානයෙන් අනතුරුව ද විශ්වසනීය ලෙස පිත්ත හැසිර වූ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 82ක් දක්වා ශ්‍රී ලංකා ඉනිම කඩුලු කිසිවක් බිඳ වැටීමකින් තොරව ගොඩ නැගූහ. නමුත් මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම ගිලගෙන සිටින අවාසනාව කොතෙක් දැයි කිවහොත් පිටියේ හොඳින්ම ස්ථාවර වී සිටි දිමුත් කරුණාරත්නගේ හිසේ පන්දුවක් වැදීම නිසා ඔහුට පිටිය හැර යන්නට අද දිනයේ දී සිදු විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එය ඉනිමේ 31 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව වූ අතර පැට් කමින්ස්ගෙන් දිමුත්ට ලැබුණේ පැයට කිලෝමීටර් 142.5ක වේගයක් කැටිවුණු පන්දුවකි. එය තණතිල්ලේ මැද කෙටී වේගයෙන් ඉහළ එසවුණේ දිමුත්ගේ හිසේ පිටුපස ගෙලට මදක් ඉහළ ප්‍රදේශය ඉලක්ක කොටගෙනයි. පන්දුව වැදුණු සැණින් දිමුත්ගේ අතින් පිත්ත ගිලිහී ගිය අතර ඔහු කඩුල්ල අසලම ඇදවැටී නොසෙල්වී සිටියේය. සැණෙකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා සහ ඕස්ට්‍රේලියානු පිළේ භෞතික චිකිත්සකවරයා පැමිණි අතර ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ විය. කෙසේ වෙතත් වැදුණු පහරේ කම්පනය නිසා දිමුත්ට දිගටම පන්දුවට පහර දීමට කිසිදු හැකියාවක් නොතිබූ අතර ඔහු පෙන්නුම් කළ එකම ධනාත්මක ප්‍රතිචාරය වූයේ කණ්ඩායමේ වෛද්‍යවරයා සමඟ වචන කිහිපයක් කතා කිරීම සහ ඇඟිලි සෙලවීම පමණි!

ඉන් අනතුරුව කුඩා රථයක ආධාරයෙන් ඔහුව පිටියෙන් ඉවත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සහ ස්කෑන් පරීක්ෂණ සඳහා ඔහුව රෝහල වෙත කැඳවාගෙන යන ලදි. කෙසේ වෙතත් අද දිනය නිමා වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ඔහුගේ තත්ත්වය සෑහෙන දුරට හොඳ පැත්තට හැරී ඇති බවයි. දිමුත් පිටිය හැර යාමෙන් වැඩි වේලාවක් ගත වන්නට පෙර ලහිරු තිරිමාන්න ද ලයන්ගේ පන්දුවකට ගොදුරු විය. පිට ඉන්න කෙළින් පතිත වී ඉන් ඉවතට මඳක් දඟ කැවුණු පන්දුව තිරිමාන්නගේ පිත්තේ දැවටී ස්ලිප් කලාපය වෙත ඇදී ගියේ එහි සිටි උස්මාන් කවාජාට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි.

අවිශ්ක ප්‍රනාන්දුත් ද්විත්ව ශතක සමාජයට

සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතාවලට තිත නොතැබූ ශ්‍රී ලංකා A..

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර පිතිකරුවන්ට උචිත මෙම පැතලි තණතීරුවේදීත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වෙමින් ලකුණු 6කට දැවී ගියේය. ඒ පැට් කමින්ස් එවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි. දිනය නිමා වන්නට මදකට පෙර නායක චන්දිමාල් ද තම කඩුල්ල ඕස්ට්‍රේලියානුවන්ට පූජා කළ අතර ඔහු දැවී යද්දී ලබා සිටියේ ලකුණු 15ක් පමණි. පසුගිය ටෙස්ට් තරගය ගණනාවක් මුළුල්ලේ ලකුණු ඉඩෝරයකට මුහුණ පා සිටින ඔහු අද දැවී ගියේ ස්ටාර්ක් පැයට කිලෝමීටර් 148ක වේගයෙන් එවූ කෙටි පන්දුවක් යන්තමින් අත් ආවරණයේ දැවටී කඩුලු රකින්නා සොයා යෑමත් සමඟයි.

ඉන් අනතුරුව ද ස්ටාර්ක් පැ.කි 150ක පමණ වේගයක් පන්දුවාරය පුරාවට පවත්වා ගනිමින් කුසල් පෙරේරාගෙන් යම් අත් වැරදීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වුවද කුසල් ඔහුගේ උගුලට හසු වූයේ නැත. ඒ සමඟින්ම තරගයේ දෙවැනි දිනය නිමා වූ අතර මේ වන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 411ක් පිටුපසින් පසුවෙයි. මෙම පරතරය තවදුරටත් අවම කර ගැනීම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නැවතත් කැන්බරා පිටියට පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද බලාපොරොත්තු දල්වාගෙන සිටින බවට සැකයක් නැත. ඒ ICC ලෝක ටෙස්ට් කණ්ඩායමට මෙන්ම දින කිහිපයකට ඉහත දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා ද කැඳවීම් ලැබුණු ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ වටිනාම පිතිකරුවා ඔහු වන බැවිනි.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 534 (පන්දුවාර 132)

ජෝ බර්න්ස් 180, ට්‍රැවිස් හෙඩ් 161, කර්ටිස් පැටර්සන් 114*, ටිම් පේන් 45*, මාර්කස් හැරිස් 11, මාර්නස් ල’බුශේන් 6, විශ්ව ප්‍රනාන්දු 3/126, චාමික කරුණාරත්න 1/130, කසුන් රාජිත 1/103.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 123 (පන්දුවාර 43)

දිමුත් කරුණාරත්න 46*, ලහිරු තිරිමාන්න 41, දිනේෂ් චන්දිමාල් 15, කුසල් පෙරේරා 11*, කුසල් මෙන්ඩිස් 6, පැට් කමින්ස් 1/25, මිචෙල් ස්ටාර්ක් 1/32, නේතන් ලයන් 1/40.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<