සංචාරක එංගලන්ත කණ්ඩායම හා සමඟ අද (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ පළමු පුහුණු එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පරිස්සමින් සිටින්නට යැයි අනතුරු හැඟවීම් සංචාරක ක්‍රීඩකයන් විසින් සිදු කළහ.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 9ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය නතර කරන විට එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා සිටිය හ.
ආසියානු යොවුන් ශූරයන් පරදා ශ්‍රී ලංකාව අවසන් සටනට
බංග්ලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව උදා කර ගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක දෙවැනි අවසන්…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක සේ ම ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ ද නායක දිනේෂ් චන්දිමාල් ගේ අදහස වූයේ පළමුවෙන් තමන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත යුතු බවයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 287ක් ලබා ගත්හ.
එම ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ය. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් එක් කළහ. මොයින් අලිගේ පන්දුවකට ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල ලෙසින් දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 53ක් තිබූ අතර තිරිමාන්න පන්දු 13කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 23ක් ලබා ගත්තේ ය.
ඉනිමේ අනෙක් ආරම්භක පිතිකරු වූ දිමුත්ට ද පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට සිදු වූයේ නැත. දිමුත් පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී මොයින් අලීගේ පන්දුවකට දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අංක 3 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ය. ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් බලාපොරොත්තු සහගත ඉනිමක් ක්‍රීඩා කළේ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ය. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.
මෑත කාලයේ තමන් ගැන තේරීම් කමිටුවේ අවධානය යොමු විය යුතු යැයි පවසන ඉසුරු උදාන අද තරගයේ දී ද පසුපෙළින් පිටියට පිවිස පන්දු 27කට මුහුණ දී හතරෙ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22කි. සධීර සමරවික්‍රම (04), ෂෙහාන් මධුශංක (10), ජෙෆ්රි වැන්ඩර්සේ (01*) සහ නිශාන් පීරිස් (00*) පිතිකරුවන් ලෙසින් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසිය හ.
පන්දු යැවීමේ දී මොයින් අලි කඩුලු 3ක දවා ගත් අතර මාක් වුඩ් සහ බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.
තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරන විට සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 215ක් ලබා සිටිය හ. ඒ තරගයේ 36 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ය.
එම ඉනිමේ දී ජෝ රූට්ස් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි නායක ඉයන් මෝර්ගන් පන්දු 84ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා සිටිය හ. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වූ නොදැවුණ ලකුණු සබඳතාව 174කි.
“කුක් වෙනුවට එන ආරම්භක පිතිකරුවා ඉලක්ක කරන්න” – සංගක්කාර
මේ වන විට එංගලන්තය ලොව හොඳම “තුන් ඉරියව් කණ්ඩායම” බව තමා විශ්වාස කරන නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී නව එංගලන්ත ආරම්භක පිතිකරු සබඳතාව…
එංගලන්ත ඉනිම ආරම්භ කළ ජේසන් රෝයි පන්දු 29ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය. අනෙක් දැවී ගිය ක්‍රීඩකයා වූයේ ජොන් බෙයිස්ටූ (03) ය. කඩුලු ලබා ගැනීමේ දී කසුන් රාජිත සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; කඩුලු 9ක් දැවී 287 (50.0) දිමුත් කරුණාරත්න 25, ලහිරු තිරිමාන්න 23, දිනේෂ් චන්දිමාල් 77, කුසල් මෙන්ඩිස් 22, කමිඳු මෙන්ඩිස් 61, ඉසුරු උදාන 40, මාක් වුඩ් 2/38, මොයින් අලි 3/42, බෙන් ස්ටොක්ස් 2/33
එංගලන්තය; කඩුලු 2ක් දැවී 215 (35.3) ජේසන් රෝයි 27, ජෝ රූට්ස් නොදැවෟ 90, එයන් මෝර්ගන් නොදැවී 91
දෙරට අතර පැවැත්වෙන දෙවැනි පුහුණු තරගය හෙට (06) පී. සරා පිටියේ දී ම පැවැත්වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















