සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට්  ජාත්‍යන්තර තරගය හෙට (3) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග තුනක් ඇති අතර, පසුගිය දා එහි පළමු තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක දැවැන්ත හා අමිහිරි පරාජයක් උරුම කරදෙමිනි. යම් හෙයකින් ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම සඳහා පිතිකරණයේ නිරත නොවූයේ නම් ඔවුන්ට ඉනිමක හා ලකුණු 64ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවීමට ඉඩ තිබිණි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසනාවට එය එසේ සිදුවූයේ නැත.

මව්බිමෙන් පිටත දී ලැබූ දැවැන්තම ටෙස්ට් ජය ඉන්දියාවට!

තුන් ඉරියව්වෙන්ම සිදු වූ බරපතළ අතපසුවීම්වල අවසන් ප්‍රතිඵලය වශයෙන් සංචාරක ඉන්දියානු කණ්ඩායම හමුවේ..

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී එකිනෙකා මුණගැසී ඇති අතර, එයින් තරග 17ක ජය ඉන්දීය  කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවද එයින් තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරැ

දිනේෂ් චන්දිමාල්

Chandimalශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා නියුමෝනියාව වැළදීම නිසා අසනීප තත්වය සුව අතට පත්වූ පසු මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබේ.  මැදපෙළ සවිමත් කරවන මේ සුවිශේෂී පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 37ක් තුල ඉනිම 67කදී  ලකුණු 2610ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය ලකුණු 42.1ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. චන්දිමාල් ගේ ඉනිම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක  8ක්  අර්ධ ශතක 12ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 57.60ක සාමාන්‍යක් රදවාගෙන ලකුණු ලබාගෙන ඇත.

චේතේශ්වර් පුජරා

pujaraඉන්දීය කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන පුජරා ජාත්‍යන්තර ටෙස්ට් තරග 49කදී ඉනිම 83ක් සඳහා සහභාගි වී ඇත. ලකුණු 52.81ක් වැනි ඉහළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යක් රඳවාගෙන ක්‍රීඩා කරන පුජරා මේ වන විට ටෙස්ට් ලකුණු 3966ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 15ක් හා ශතක 12ක් ඇතුළත් වන අතර, ද්විත්ව ශතක 3ක්ද ඒ අතරට අයත් වී ඇත.

ඇන්ජලෝ මැතිව්ස්

Mathewsශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පදනම දැමීමේ භූමිකාවට ආලෝකය ලබාදෙන මේ පරිණත ක්‍රීඩකයා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 67කදී ඉනිම 118කට තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 4621ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 45.75ක් වැනි සැලකියයුතු ලකුණු ලබාගැනීමේ සාමාන්‍යක් ද රඳවාගෙනයි. තවද ඔහු  ශතක 7ක් හා අර්ධ ශතක 27ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, නිමාවූ ටෙස්ට් තරගය තුලදීද ලකුණු 85ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතිහාසය තුල ලකුණු 41.50ක් වැනි සාමාන්‍යක් රඳවාගෙන ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හැකිව තිබේ.

ශිකර් ධවාන්

dhawanඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කලක පටන් තම වගකීම් ඉටුකළ මොහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 24ක ඉනිම 42කට සිය දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 1668ක් ලබාගෙන ඇත්තේ ලකුණු 41.70ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යක් රඳවා ගෙනයි. ධවාන් එම ලකුණු අතරට ශතක 5ක් හා  අර්ධ ශතක 3ක් ලබාගෙන ඇත. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරුවීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැදින්වීමට හැකිය. යම් හෙයකින් ධවාන් අර්ධ ශතකයක් වෙත ගියහොත් ශතකයක් වෙත යාමට වැඩි ඉඩකඩක් ඇත.

ප්‍රබල පන්දු යවන්නන්

රංගන හේරත්/ මාලින්ද පුශ්පකුමාර

Malinda-nd-Ranganaසැම විටම සිනහමුසු මුහුණකින් ක්‍රීඩා කරන රංගන හේරත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 82කදී ඉනිම 150ක් තුල කඩුලු 385ක් දවාලීමට සමත් වී ඇත. ඉන් කඩුලු 28ක්ම ඉන්දියාවට එරෙහිව ලබාගත් කඩුලු වේ. 28.16ක් වැනි මට්ටමේ කඩුලු දවාලීමේ සාමාන්‍යක් සහිත හේරත් පන්දුව පහසුවෙන්ම දඟ කැවීමට උපන් හපනෙකි. නමුත් හේරත් ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පසුවන්නේ ඔහුගේ ඇඟිල්ල ආබාධයකට ලක්වී තිබීම නිසාවෙනි. හේරත් මෙම තරගයට සහභාගි නොවන්නේ නම් මාලින්ද පුශ්පකුමාර හෙට දිනය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මාලින්ද පළමු පෙළ තරග 99කදී කඩුලු 558ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ 19.85ක් වැනි හොඳ මට්ටමේ කඩුලු දවාලීමේ සාමාන්‍යක් රඳවාගෙනයි.

රවිචනද්‍රන් අශ්වින්

Ashwinතුන් ඉරියව් ක්‍රීඩකයේක මෙන්ම, දඟ පන්දු යවන්නෙකු ලෙස ඉන්දීය පන්දු බලඇණිය සවිමත් කරවන අශ්වින් තරග 50ක ඉනිම 94කදී කඩුලු 279ක් දවාලීමට සමත් වී ඇති අතර, කඩුලු දවාලීමේ සාමාන්‍ය  25.04ක් ලෙසින් දක්වන මොහු එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 2.88ක් පමණ ලකුණු ලබාදීමක් සිදුකර ඇත. නිමාවූ ටෙස්ට් තරගයේ දී  කඩුලු 4ක් දවාලමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කරන ලදි.

නුවන් ප්‍රදීප්

Nuwanදකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ගේ පන්දු හමුවේ නිමාවූ ටෙස්ට් තරගයේ දී ඉන්දීය පිතිකරුවන්  වුවද තරමක දෙගෙඩියාවකින් යුතුව පන්දුවට පහරදුනි. එම තරගයේ දී කඩුලු 6ක් දවා ගැනීමට ප්‍රදීප් සමත් විය. ඒ ඔහු ගේ  දක්ෂ පන්දු යැවීමේ විලාසය නිසාවෙනි.  ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියේ තරග 25කදී ඉනිම 48ක් තුල  කඩුලු 67ක් දවාලීමට ප්‍රදීප් සමත්ව ඇති අතර, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 3.61ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබාදී ඇත.

රවීන්ද්‍ර ජඩේජා

Jadejaවමතින් දඟ පන්දු යවන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන ජඩේජා ජාත්‍යන්තර ටෙස්ට් තරග 31ක ඉනිම 59ක් තුල කඩුලු 148ක් දවාලීමට සමත් වී ඇත. ලකුණු 48කට කඩුලු 7ක් දවාලීම ඉනිමක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් කර ඇති ජඩේජා එක් පන්දුවාරයකට දළ වශයෙන්  ලකුණු 2.27ක් පමණ පිතිකරුවන්ට ලබාදී ඇත. මෙම තරගාවලිය තුල දැනට කඩුලු 6ක් දවාලීමට මොහු සමත් වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

එස්. එස්. සී තණතීරුව, පිටිය හා කාළගුණික තත්ත්වය

මෙම ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 10,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම  ජාත්‍යන්තර ටෙස්ට් තරග 8කදී එකිනෙකා හමුවී ඇත. ඉන්  දෙපිළම  තරග දෙක බැගින් ජයග්‍රහණය කර හමාරය. තවත් තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත

තිරිමාන්න සහ සඳකැන් ටෙස්ට් සංචිතයට

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න..

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහරදීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, විටින් විට මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට හැකි වන අතර, උදෑසන කාලයේ තරමක් වළාකුළින් බරවූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 15-22ක් දක්වා සුළගේ වේගයේ විචලනයක් ඇතිවිය හැති අතර, 27°C – 32°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (අගෝස්තු 1) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානයේ පසුවන අතර, ඔවුන් ලකුණු 2937ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92ක් ලබාගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් පෙරමුණේ පසුවන්නේ ලකුණු 3925ක් හා ප්‍රසාද ලකුණු 123ක් ලබාගෙනයි.

අවසන් නිගමනය

ඉන්දීය කණ්ඩායම තරග ඉතිහාසය පිරික්සා බලන කළ පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැදුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් මෙම තරගය බොහෝ දුරට ජයපරාජයෙන් තොරව අවසන් වීමට ඉඩකඩ තිබේ.

චන්දිමාල් එයි. හේරත් සැක සහිතයි

නියුමෝනියා රෝගය වැළඳීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට..

අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්/ මාලින්ද පුශ්පකුමාර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර.

ඉන්දියාව  – විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ද්, චේතේශ්වර් පුජරා, අජින්කයා රහනේ, ව්රිදිමන් ශා, හාර්ඩ්ක් පාන්ඩයා , රවීන්ද්‍ර ජඩේජා, රවිචනද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, මොහොමඩ් ශමී.

සංචාරක ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන උණුසුම්කාරී දෙවන ටෙස්ට් තරගය හෙට (3) කොළඹ , එස්. එස්. සී ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වේ.