වදනින් කරන සටන්, එසේත් නැතිනම් වාග් සටන් (Sledging), ක්‍රීඩාවට කෙතරම් අවශ්‍ය ද යන්න පිළිබඳ නොයෙක් මත පවතියි. එහෙත් පැය කිහිපයක් පුරා ක්‍රීඩකයන් එකම පිටියක රැඳී සිටිය යුතු ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් තුළ සිදු වන වාග් සටන්, ක්‍රීඩාව තුළ පවතින විනෝදාත්මක අංගයකි.

සමහර අවස්ථාවල දී එම වාග් සටන්, සීමාව ඉක්මවා උණුසුම් වී තරග විනිසුරුවරුන්ගේ පාලනයෙන් පවා තොර වන බැවින් ඇතැම් විට ක්‍රීඩකයන්ට දඩ පැනවීම් සහ අවවාද සිදු කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනියි.

කෙසේ නමුත් මෙවන් වාග් සටන් වරෙක ඉතා රසවත්ය, වරෙක ඉතා කර්කෂ ය. මෙය ටෙස්ට් සහ එක්දින තරගවල දී පැය කිහිපයක් පන්දු රැකීමේ යෙදෙන ක්‍රීඩකයන්ගේ විඩා නිවන්නකි. එමෙන්ම පිතිකරණයේ යෙදෙන පිතිකරුවන්ගේ මානසික ශක්තිය මැන බලන්නකි. මෙය එක්තරා කලාවකි.

ඕස්ට්‍රේලියානුවන් සහ එංගලන්ත ක්‍රීඩකයන් මෙම කලාවේ කප්පිත්තන් වන අතර මර්ව් හියුස්, මිචෙල් ජොන්සන් සහ ඉයන් බොතම් වැන්නන් මීට බොහෝ සුන්දර මතකයන් එක්කළ කිහිප දෙනෙකු .

ක්‍රිකට් ඉතිහාසය තුළ සිදු වූ එවන් දරුණු වාග් අභියෝගයන් සහ ඒවාට ලැබුණු නියම පිළිතුරු පෙළක් පිළිබඳ අප කරන හැරී බැලීමකි මේ.

  • මුලින්ම අප තෝරා ගත්තේ දශක 3කට පමණ ඉහත දී සිදු වූ සිදුවීමකි. එංගලන්ත ප්‍රාන්ත තරගයක දී පන්දුවට පහර දෙමින් සිටි විවියන් රිචඩ්ස් හට ජේම්ස් ඕමන්ඩ් යැවූ පන්දු කිහිපයක් හරිහැටි හඳුනා ගත නොහැකි වී, පන්දුව පිත්ත පරයා ගියේය. ඉන් ඔදවැඩුණු ඕමන්ඩ් මෙසේ කීවේය.

ඒක (පන්දුව) රතුයි, ඒක රවුම්. දැන්වත් ඒකට ගහපන්!”

රිචඩ්ස් කෙතරම් බිහිසුණු පිතිකරුවෙකු දැයි අපි දනිමු. මීළඟ පන්දුවට ඔහුගෙන් එල්ල වූ හයේ පහරත් සමඟ පන්දුව පිටියෙන් ඉවතට පාවී ගියේය.

Vivian Richards, courtesy – quoracdn.net
Vivian Richards, courtesy – quoracdn.net

ඒක රතුයි, ඒක රවුම්. දැන් ගිහින් ඒක හොයාගනින්!” එය රිචඩ්ස් විසින් ඕමන්ඩ් හට දුන් පිළිතුරයි.

  • හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ද මාධ්‍යකරුවන් ඉදිරියේ තම භාෂා දක්ෂතාවය යොදා ගෙන කණ්ඩායම නොසොල්වා රැකගත්තෙකි. වරෙක ෂේන් වෝන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කොට කර තිබූ වාග් ප්‍රහාරයක් පිළිබඳ යමෙකු අර්ජුනගෙන් විමසීය. අර්ජුන ලබා දුන්නේ උණුසුම් ප්‍රතිචාරයකි.

    Arjuna Ranatunga, courtesy - bbc.co.uk
    Arjuna Ranatunga, courtesy – bbc.co.uk

බැටළුවෙක් හරි එළුවෙක් හරි ගිල දැම්මට කමක් නැහැ, ඌ ගිලපු දේවල් ආයෙත් ගිලින්නැතුව.” ඔහු ඉන් පැවසුවේ ‘ක්‍රීඩකයෙකු කියූ දෙයක් සිත තුළට ගන්නවාට වඩා ඔහුගේ කණ්ඩායම පරාජය කිරීම හොඳ බව’යි.

  • ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක දී පන්දුවට පහර දෙමින් සිටි ජාවිඩ් මියන්ඩාඩ් හට පන්දු යවමින් සිටියේ මර්ව් හියුස් ය. මර්ව් කෙතරම් දක්ෂ වාග් ප්‍රහාරකයෙකු දැයි නොසලකා මියන්ඩාඩ් හඬ අවදි කළේය.

මර්ව්, උඹ හරියට තඩි, මහත බස් කොන්දොස්තර කෙනෙක් වගේ!”

ඊට මර්ව්ගෙන් ප්‍රතිචාරයක් නොලැබීම පුදුමයක් විය. එහෙත් පන්දු කිහිපයකින් අනතුරුව මියන්ඩාඩ් ව දවාගත් මර්ව්,

“ට්කට් ගන්ඩෝ!”යි කියමින් ඔහු පසුපසින් දිව ගියේය.

Caption – Merv Hughes, courtesy - jellyshare.com
Caption – Merv Hughes, courtesy – jellyshare.com
  • මේ, මර්ව් හියුස්ගේ නම ප්‍රසිද්ධ වාග් ප්‍රහාරයකට ඇතුළත් වූ තවත් අවස්ථාවකි. 1989 අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවේ මර්ව් හියුස් හමුවේ එංගලන්ත පිතිකරු රොබින් ස්මිත් අපහසුතාවට පත්විය.

“උඹට බැට් කරන්න බෑනෙ බං!” මර්ව් උදම් ඇනුවේය.

මීළඟ පන්දුවට හතරේ පහරක් එල්ල කළ ස්මිත් ලබා දුන්නේ නියම පිළිතුරකි.

Caption – Robin Smith courtesy - pinimg.com
Caption – Robin Smith courtesy – pinimg.com

“ඒයි මර්ව්! අපි දෙන්නා ගැළපෙනවා. මට බැට් කරන්න බෑ, උඹට බෝල් කරන්න බෑ!”

  • අළු බඳුන තරගාවලිය යනු අතීත උරුමයකි. එහි දී සිදු කරන වාග් සටන් ද අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. මේ, ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක රොඩ්නි මාෂ් සහ එංගලන්ත පිතිකරු ඉයන් බොතම් එවැන්නකට මැදි වූ ආකාරයයි. බොතම් පන්දුවට පහර දීමට පැමිණි විට මාෂ් මෙසේ විමසුවේය.

“ඉතින්, කොහොමද උඹේ නෝනට? මගෙ දරුවන්ට?”

Caption – Rodney Marsh (Left), Ian Botham (Right), courtesy -  mirror.co.uk
Caption – Rodney Marsh (Left), Ian Botham (Right), courtesy –  mirror.co.uk

එහි සැඟවුණු අරුත සැනෙකින් වටහා ගත් බොතම් මෙසේ පිළිතුරු දුන්නේය.

“නෝනා නම් හොඳින්. දරුවො නම් විකෘතියි!”

  • ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරගාවලියේ දී ස්ටීව් වෝ පන්දුවට පහර දීමට පැමිණියේය. ඔහු තම ඉන්න සලකුණු කිරීමට මඳ වේලාවක් ගත කරනු දුටු ජෙමී සිඩ්න්ස්ගේ ඉවසීමේ සීමාව පැන්නේය.

“අනේ ස්ටීව්! මේක ටෙස්ට් තරගයක් නෙමෙයි බං!”

ශ්‍රේෂ්ඨ ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීව් වෝ මෙසේ පිළිතුරු දුන්නේය.

Caption – Steve Waugh, courtesy - dailymail.co.uk
Caption – Steve Waugh, courtesy – dailymail.co.uk

ඒක නේන්නම් උඹ මෙතන ඉන්නේ!” එතෙක් ටෙස්ට් වරම් දිනා නොසිටි ජෙමී සිඩ්න්ස් ඉන් නිරුත්තර විය.

  • ලොව ශ්‍රේෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන්, වාග් සටන් කලාවේ අතිදක්ෂයෙකි. දකුණු අප්‍රිකානු පිතිකරු ඩැරල් කලිනන්, ඔහුට ඉතා පහසු විකට්ටුවක්ව තිබිණි. වසර දෙකක පමණ විරාමයකින් පසු කණ්ඩායම් දෙක අතර පැවති තරගයක දී පන්දුවට පහර දෙන්නට කලිනන් පිටියට පැමිණි අතර වෝන් මෙසේ කීවේය.

“මං අවුරුදු දෙකක් විතර බලන් හිටියා උඹේ විකට් එක ආයෙත් ගන්න.”

පෙරට වඩා තරබාරු සිරුරක් සහිත වූ වෝන් දෙස බැලූ කලිනන් මෙසේ කීවේය.

Caption – Daryl Cullinan, courtesy - amazonaws.com
Caption – Daryl Cullinan, courtesy – amazonaws.com

“මං හිතන්නෙ උඹ ඒ අවුරුදු දෙකම ඉඳලා තියෙන්නේ කෑම කකා!”

  • වරෙක, දක්ෂ ඕස්ට්‍රේලියානු පන්දු රකින්නෙකු වූ මාක් වෝ පිටියේ සිටිය දී එංගලන්තයේ ජේම්ස් ඕමන්ඩ් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේය.

උඹ මොනවද මෙතන කරන්නේ? එංගලන්තෙට සෙල්ලම් කරන්න තරම් උඹ හොඳ මදි.” මාක් වෝ, වාග් ප්‍රහාරය ඇරඹීය.

“වෙන්න පුළුවන්. ඒත් මං මගෙ පවුලේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා!” ඕස්ට්‍රේලියානු නායකත්වය පවා හෙබවූ මාක් වෝගේ සොයුරු ස්ටීව් වෝ සිහිකරමින් ඕමන්ඩ් දුන් ප්‍රතිප්‍රහාරය නිසා මාක් වෝ නිහඬ විය.

Caption – Mark Waugh (Left), James Ormond (Right), courtesy - saddahaq.blob.core.windows.net
Caption – Mark Waugh (Left), James Ormond (Right), courtesy – saddahaq.blob.core.windows.net
  • 2001 වසරේ දී ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත විය. එහි අවසන් තරගය විශේෂ තරගයක් වූයේ ස්ටීව් වෝ සිය ටෙස්ට් දිවියෙන් සමු ගැනීමේ තරගය ලෙස එය නම් කිරීම නිසා මෙන්ම තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පැවතීම නිසා යි. ඉන්දියාවට හිසරදයක් වෙමින් පිතිකරණයේ යෙදී සිටි ස්ටීව් වෝ ට, වයස අවුරුදු 16ක දරුවෙකු වශයෙන් ඉන්දියානු කඩුලු රැකීමේ නිරත වූ පාර්තිව් පටෙල් මෙසේ කීවේ ඔහුව රවටන අයුරිනි.

“ස්ටීව්, විශ්‍රාම යන්න කලින් අර ඔයා ගහන විදිහේ ලස්සන ලොකු ස්වීප් පාරක් ගහනවද?”

එවන් චාටු කතා පිළිබඳ වසර ගණනක පළපුරුද්ද සහිත වූ වෝ, මෙසේ ඔහුව නිරුත්තර කළේය.

Caption – Steve Waugh, courtesy - instablogs.com
Caption – Steve Waugh, courtesy – instablogs.com

“පුතේ, ටිකක් ගරු කරලා කතා කරොත් හොඳයි. මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවෙත් උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ.”

  • ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තයෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන්නෙකි. එක් අළු බඳුන තරග වාරයක දී ඔහුට කඩුලු ලබා ගැනීම අපහසු වූ අතර ඔහු ඒ පිළිබඳව නුරුස්නා සහගතව කියවමින් සිටි බව දුටු, පිතිකරණයට ප්‍රතිවිරුද්ධ අන්තයේ රැඳී සිටි මිචෙල් ජොන්සන්, මෙසේ කීවේ ඔහුව තවදුරටත් පහත දමන අටියෙනි.

මොකද බං කියවන්නේ? විකට් ගන්න බැරිද?”

ඇන්ඩර්සන් එල්ල කළ මීළඟ පන්දුව පිතිකරුගේ පිත්තේ නොවැදී ගොස් කඩුල්ලේ වැදුණි. තම දෙතොල් අතර ඇඟිල්ලක් තබා ගනිමින් “නිශ්ශබ්ද වන ලෙස” ජෝන්සන්ට සංඥා කළ ඇන්ඩර්සන් කඩුල්ල සමරන්නට විය.

 Caption – James Anderson, courtesy - tinypic.com
Caption – James Anderson, courtesy – tinypic.com
  • වරෙක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරගයක දී කොදෙව් පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වූ අතර වේගපන්දු යවන ක්‍රීඩක ටීනෝ බෙස්ට්, පන්දුවට පහර දීමට පැමිණියේය.

ටීනෝ, වීදුරු බලාගෙන!” ක්‍රීඩාගාරයේ වීදුරු දෙස බලමින් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් කීවේ උපහාසයෙනි.

Caption – Andrew Flintoff, courtesy - pinimg.com
Caption – Andrew Flintoff, courtesy – pinimg.com

ඉදිරියට පැන පහරක් එල්ල කරන්නට ගිය ටීනෝ මීළඟ පන්දුවට දැවී ගිය අතර ෆ්ලින්ටොෆ් එහි දී සාර්ථක විය.

  • ශ්‍රී ලංකා – පකිස්තාන විස්සයි-විස්ස තරගයක දී සිදු වූ රසවත් සිද්ධියක් ද මෙහි දී සිහිවේ. පන්දු යවන අන්තයේ සිට වේගයෙන් දිවවිත් පන්දු යැවූ උමාර් ගුල්, නවක ක්‍රීඩක මහේල උඩවත්තගෙන් විමසා සිටියේ,

“උඹ කවුද?” කියා යි.

ඔහුට හතරේ පහරවල් දෙකකින් සහ හයේ පහරකින් ප්‍රතිචාර දැක්වූ උඩවත්ත, ගුල් වෙත සිය නිල ජර්සියේ පසුපස සඳහන් නම පෙන්වූයේය.

Caption – Mahela Udawatte
Caption – Mahela Udawatte
  • ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගයක දී පන්දුවට පහර දෙමින් සිටි ටී. එම්. ඩිල්ෂාන් හට වදනින් අභියෝග කළ මිචෙල් ස්ටාක් හට ඩිල්ෂාන්ගෙන් ඩිල්ස්කූප් පහරක් එල්ල වූයේ පැයට කි.මී. 144ක වේගයෙන් යුත් පන්දුවකටයි.

    Caption – T.M.Dilshan, courtesy - firstpost.in
    Caption – T.M.Dilshan, courtesy – firstpost.in
  • ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් එක්දින තරගයක දී ඉන්දියාවේ විරාත් කෝලිට පන්දු යවමින් සිටියේය. කෝලි විශාල පහරකට නොයනු දුටු ෆෝක්නර් කීවේ මෙසේය.

“අපි හරි විනෝදෙන් නේද ඉන්නේ?”

කෝලි එවැන්නක් නොඉවසන්නෙකු බව අපි දන්නෙමු. ඔහු පිළිතුරු දීම ඇරඹුවේය.

මගේ ජීවිත කාලෙ පුරාම මං උඹට ගහලා තියෙනවා. ගිහින් බෝල් දාපන්!”

ඉන් නොනැවතුණු කෝලි හතරේ පහරක් වාර්තා කරමින් මෙසේද කීය.

“එතෙන්ට ස්ලිප් කෙනෙක් දාපන්!”

Caption – Virat Kohli, courtesy - ndtvimg.com
Caption – Virat Kohli, courtesy – ndtvimg.com
  • ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින්නෙකු වුවද ෂේන් වෝන්ගේ වාග් ප්‍රහාර දරුණුය. ඔහු ක්‍රීඩාවෙන් සමුගත් පසු පැවති අළු බඳුන තරග වාරයේ දී 5-0ක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී ම සුදු හුණු ගෑමක් (Whitewash) බලා ගත හැකි බවට එංගලන්ත සහයකයෙකු වූ ඉයන් බොතම් ලබා දුන් පූර්වකථනයන් සම්පූර්ණයෙන්ම වැරදි බවට පත්කරමින් ඕස්ට්‍රේලියාව 5-0ක් ලෙස ජය ගත්තේය. ට්විටර් පණිවුඩයක් මඟින් ඔහුට ප්‍රහාරයක් එල්ල කළ වෝන් මෙය පළකළේය.

“ඕස්ට්‍රේලියාවේ දී සුදු හුණු ගෑමක් දැකිය හැකි බව සම්පූර්ණයෙන්ම සත්‍යයක්. හොඳ පූර්වකථනයක්. ඒත් කණ්ඩායම වැරදි ලෙස තෝරා ගැනීමක්.”

Caption – Shane Warne, courtesy - newsapi.com.au
Caption – Shane Warne, courtesy – newsapi.com.au
  • අප තෝරා ගත් මේ වාග් සටන සිදු වී ඇත්තේ විරේන්දර් ෂෙවාග් සහ මයිකල් ක්ලාක් අතරයි. ෂෙවාග්, සචින් ටෙන්ඩුල්කාර් සමඟ පිතිකරණයේ යෙදී සිටිය දී ක්ලාක්, සචින්ට දිගින් දිගටම ඇනුම් පද කියන්නට විය. ඒ අතරට පැමිණි ෂෙවාග්, ක්ලාක්ගෙන් මෙසේ විමසුවේය.

“මයිකල්, උඹ තරග කීයක් සෙල්ලම් කරලා තියෙනවද?”

ක්ලාක් එවිට ක්‍රීඩා කොට තිබුණේ ජාත්‍යන්තර තරග කිහිපයකි. ඔහු ඒ ගණන පැවසුවේය. ෂෙවාග් නැවතත් හඬ අවදි කළේය.

“සචින් උඹේ තරග ගාණටත් වඩා ශතක ගහල තියෙනවා. ඉතින් ඇයි උඹ කෑගහන්නේ?”

Caption – Virendar Sehwag, courtesy - ndtvimg.com
Caption – Virendar Sehwag, courtesy – ndtvimg.com

ඉන් අපහසුතාවට පත්වූ ක්ලාක් විසින් ෂෙවාග්ව පසෙකට යැවීමට උත්සාහ කරන ලද්දේ ඉන්පසුවයි. එහෙත් ෂෙවාග් නොනැවතිණි. මයිකල් ක්ලාක්ගේ සුරතල් නම මෙවර ප්‍රහාරයට යොදා ගැනිණ.

“මයිකල්, ටීම් එකේ උඹට කියන්නේ පප් (pup) නේද? උඹ මොන වර්ගෙද?” පප් (pup) යනු ඉංග්‍රීසි භාෂාවෙන් බලු පැටවාට කියන නමකි.

  • ක්‍රිකට් ලොවේ ශ්‍රී ලංකා සලකුණක් වන කුමාර් චෝක්ෂනාද සංගක්කාර ද මෙවැන්නක් සිදු කර ඇති අතර ඔහුගේ නමෙහි සඳහන් පරිදිම (චෝක්ෂනාද – පැහැදිලි  හඬ) එය පැහැදිලිව කඩුල්ලේ මයික්‍රොෆෝනයෙන් ඇසිණි. එය එසේ මෙසේ වාග් පහරක් නොවූ අතර වාග් සටන්කලාව වෙනම තලයකට රැගෙන යාමකි. ඔහුවන් බුද්ධිමතෙකුට හැර සාමාන්‍ය ක්‍රීඩකයෙකුට එවැන්නක් සිදු කළ නොහැකිය.116

2003 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු හඹායමින් සිටි දකුණු අප්‍රිකාව, තම නිජබිමේ දී ම කඩුලු 5ක් අතැතිව ලකුණු 120ක් ලබා ගත යුතුව යම් ගැටලුකාරී තත්වයක සිටිය දී නායක ෂෝන් පොලොක් පිටියට පිවිසියේය. මේ කඩුලු රකින සංගක්කාර ඔහුව තණතිල්ල වෙත පිළිගත්තේ මෙසේයි.

ලොක්කට ලොකු පීඩනයක් නේ? එයාට වැරදුනොත් දැන් රටම වැටෙයි. බලාපොරොත්තු ගොඩයි.”

පොලොක්ට දැනුණු පීඩනය කෙතරම් වුවත් සංගා නොනැවතුණේය.

මේ බලාපොරොත්තු වල බර, රටේ බර, මිලියන 42කගේ බලාපොරොත්තු බරවෙන්නේ ෂෝන්ගේ කර උඩට!”

විනෝදය අතරතුර…

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැඳී තිබෙන්නේ කලහකාරීන් මත නොවේ. අප පෙර කතා කළ විනෝදය ගෙනෙන වාග් සටන් හරහා ද පෙනී යන්නේ සොඳුරු අභියෝගයකට – සොඳුරු අභියෝගයකින්ම පිළිතුරු දීමේ මහත්මා පුරුද්දයි. එහෙත් යම් අවස්ථාවල දී සීමාව ඉක්මවා වචන උණුසුම් වීමෙන් ක්‍රීඩාවේ ජීවගුණයට හානි සිදු විය හැකි ආකාරය අපි අත්විඳ ඇත්තෙමු.

ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාරය පහදන වාග් ප්‍රතිප්‍රහාර වලින් කිසිවෙකුට ශාරීරික හානියක් සිදුනොකෙරෙන අතරම මතකයන් ලෙස ඒවා අනාගතයට එක්වෙයි. එබැවින් ක්‍රීඩකයෙකු උගත යුත්තේ පිටිය මැද දී සොඳුරු සටන්කරුවෙකු වීමටත්, ඉන් පිටත දී සැබෑ මහත්මයෙකු වීමටත් ය. ක්‍රීඩාව බැබළෙන්නේ එවිට යි.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<