නිපුන්ගෙන් ගාලු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!

855
SLC Premier League 2016/17 Tier A January 4th roundup

පූර්ණ තරග ජයග්‍රහණයක් පිලිබඳ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තබා තිබූ බලාපොරොත්තු බොඳ කරමින් තෙවැනි දිනය නිමාවන තුරුම සිය කඩුලු ආරක්ෂා කරගන්නට අද (04) ගාලු ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් සමත් විය. නමුත් තරගය පුරාවට වැඩි දක්ෂතා ප්‍රකට කළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිවිය.

පසුගිය ලිපි: බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තරගයේ අණසක පතුරවයි

අද උදෑසන තෙවැනි සහ අවසන් දිනයට තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබා සිටියේ ගාලු ක්‍රිකට් සමාජයට වඩා ලකුණු 206ක ඉදිරියක් රඳවා ගනිමිනි. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 38කි. ඔහු අද ගාලු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අන්දමින් පහර එල්ල කරමින් තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 183ක් දක්වා ඉහළ නංවා ගන්නට සමත් විය. එම විශිෂ්ඨ ඉනිමට මනරම් හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 8ක් අන්තර්ගත කල මෙම 25 වියැති වමත් පිතිකරුවාට ඒ සඳහා වැයවූයේ පන්දු 165ක් පමණි. ඔහුට අනගි සහයක් ලබා දුන් තිරාන් ධනපාල හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 66ක් රැස් කරමින් බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම ලකුණු 343ක් දක්වා ගෙන ඒමට සමත් විය.

ඒ වන විට ඔවුන් ගාලු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 435ක් ඉදිරියෙන් පසුවීම නිසා පූර්ණ තරග ජයග්‍රහණයක් පිලිබඳ සුබ සිහින දල්වාගත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසුණු ගාලු පිතිකරුවන් සංයමයකින් යුතුව පන්දුවට පහර දුන්නේ තමන් වැටී ඇති අවදානම් තත්වය මැනවින් තේරුම් ගනිමිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් බලාපොරොත්තු වූ දේ ඉෂ්ට නොවුනත් කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් තමන්ට හැකි පමණින් ගාලු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා ආධාර විය. පිතිකරණ ලැයිස්තුවේ මදක් පහළට ගිය ගාලු ක්‍රිකට් සමාජයේ පරිණත ක්‍රීඩකයෙකු වන දමිත හුණුකුඹුර අංක 7 පිතිකරු ලෙසින් පැමිණ නොදැවී ලකුණු 56ක් වාර්තා කළේ බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණය මොහොතින් මොහොත පමා කරමිනි. ගාලු ඉනිම ලකුණු 143ට කඩුලු 7ක් බිඳ වැටී ඉතාමත් අසීරු තත්වයකට පත්වූ මොහොතේ ඔහු හා එක්වුනු ඒ. කේ. ටිරෝන් 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් එක්කරමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින්ට හිමිවීමට තිබූ නිසැක ජයක් ඔවුන්ට අහිමි කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්වූ මලිත් ද සිල්වා ලකුණු 37කට කඩුලු 3ක් බිඳ හෙලීය. ඔහු මෙම තරගය පුරාවට ගාලු පිතිකරුවන් 8 දෙනෙකු දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළේය. නමුත් ගාලු ක්‍රිකට් සමාජයේ පසුපෙළ පිතිකරුවන් අවසානය වනතෙක්ම තම සටන අත් නොහරිමින් විශිෂ්ඨ පිතිකරණයක යෙදීම හේතුවෙන් මලිත් ඇතුළු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින්ට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත්වන්නට සිදුවිය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 96): අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 4/64, සජීව වීරකෝන් 3/85, චලන ද සිල්වා 2/70.

ගාලු ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 54.2): දමිත හුණුකුඹුර 54, චලන ද සිල්වා 32, දිල්හාන් කුරේ 19, මලිත් ද සිල්වා 5/60, ලහිරු සංජය 3/52, විනෝද් පෙරේරා 1/17.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 343 (පන්දුවාර 69.2): නිපුන් කරුණානායක 183, තිරාන් ධනපාල 66, නිසල් ෆ්‍රැන්සිස්කෝ 17, සජීව වීරකෝන් 2/41, චලන ද සිල්වා 2/34.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 220 (පන්දුවාර 55): දිල්හාන් කුරේ 32, දමිත හුණුකුඹුර 56*, ඒ. කේ. ටිරෝන් 41*, ශාලික කරුණානායක 27, මලිත් ද සිල්වා 3/37, ඉම්රාන් කාන් 2/63.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට