රංජිත් රොද්‍රිගෝ නැවතත් පාපන්දු මහ පුටුවේ සටනට

291
Ranjith Rodrigo

ලබන වසර මැද භාගයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තු වන බව එම සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා පවසයි.

පසුගිය ලිපි: පාපන්දු ශූරයන්ගේ ත්‍යාග මුදල් ඉහලට

වර්තමානයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය සහ මූල්‍ය කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන රංජිත් රොද්‍රිගෝ මහතා මේ බව අනාවරණ කලේ ශ්‍රී ලංකා පාපන්දු නිවහනේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දීයි.

”අපි උත්සාහ කරනවා, ඒ වගේම අපේ ධනය සහ මහන්සිය ආයෝජනය කරනවා මෙය (ශ්‍රී ලංකා පාපන්දු) ජයග්‍රහණය වෙත ගෙන යන්නට. ජනතාව අහනවා මම ආපහු එනවද කියලා (පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට). ඔව් මම ආපහු එනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් වෙලා තියෙන්නේ, ඉතින් මම ලබන වසරේ පැවැත්වෙන නිලවරණයෙදී සභාපති තනතුර සඳහා තරග වදිනවා” රංජිත් රොද්‍රිගෝ මහතා මෙහිදී පැවසීය.

තමන් මීට පෙර සභාපති තනතුරේ සිටි 2013 – 2015 කාල සීමාවේදී මුහුණ දීමට සිදුවූ අපහසුතා පිළිබඳව විවේචනාත්මකව අදහස් පල කල හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ බාහිරෙන් එල්ලවූ බලපෑම් හමුවේ තමන්ගේ රාජකාරි නිසි අයුරින් කරගෙන යාමට නොලැබුණු බවයි.

”මගේ පසුගිය පාලන කාලය තුල මට විරුද්ධව නඩු 18ක් දමලා තිබුනා. ඉතින් මට සිදුවුනා උසාවි සහ පොලීසි ගානේ මගේ කාලය විනාශ කර දමන්නට. මට වැඩ කරන්න කාලයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ. සාමාන්‍යයෙන් යම්කිසි දර්ශනයක් නිවැරදිව ක්‍රියාත්මක කරන්න වසර 4ක කාලයක්වත් අවශ්‍යයි. ඒ වගේම දැනට සිටින අනුග්‍රාහක ආයතනත් කැමතියි මෙම පරිපාලනය සමගින් ගනුදෙනු කරන්න. ජපානයේ JFA ආයතනය පැමිණි වෙලාවෙත් ඔවුන් කිවුවේ මෙම පරිපාලනය වෙනස් වෙනවාට ඔවුන් අකමැතියි කියලා” රංජිත් රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසීය.

”තව කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් එන්න, තරග කරන්න, මට මෙතනට බලෙන් එන්න නොහැකියි. අපි ස්වේච්ඡාවෙන් සේවය කරන අතරතුර තමයි මේ බැනුම් අහන්නෙත්. පෞද්ගලික ජීවිතයේදී අපි ඉතාමත් සාර්ථක පුද්ගලයෝ. ඉතින් අපිට අවශ්‍ය නැහැ මෙතනදී අසාර්ථක වෙන්න. අපිට අවශ්‍ය මෙරට පාපන්දු ක්‍රීඩාව මේ තියන තත්ත්වයෙන් ඉහලට ගෙනියන්න.” ඔහු පැවසුවේ අභියෝගයකට ආරාධනාවක්ද කරමිනුයි.

නීතිමය ගැටුම් වලට අමතරව, ක්‍රීඩාව පැත්තෙන් බැලූ කල වුවද රංජිත් රොද්‍රිගෝ මහතාගේ පාලන සාමය එතරම් සාර්ථක කාල පරිච්ඡේදයක් නොවීය. එම කාලයේදී මාලදිවයිනට එරෙහිව ගෝල 10 – 0ක් ලෙස ලැබූ ඉතිහාසයේ දරුණුම පරාජයට ශ්‍රී ලංකාව මුහුණ දුන් අතර පසුව හෙළිවුණේ එම තරගයේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තරග පාවාදීමක් සිදු කර ඇති බවයි.

2015 වසරේ ශ්‍රී ලංකාව භූතානය හමුවේ, 2018 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය සඳහා පැවති තරග අදියර දෙකෙන්ම පරාජය වූ අතර භූතානය ජගත් පාපන්දු කණ්ඩායම් වර්ගීකරණයේ පහතින්ම සිටින දකුණු ආසියානු රාජ්‍යයයි. ඊට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු තරගාවලියකදී භූතානය ගෝල 4 – 0 ක් ලෙස පරාජය කරන්නටද සමත්ව සිටින ලදී.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සහාපති අනුර ද සිල්වා මහතා ඔහුගේ කතාව අතරතුර සඳහන් කලේ එළඹෙන නිලවරණයට ඉදිරිපත් වීම පිලිබඳ තමන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

” සමහර විට මම නිලවරණයට ඉදිරිපත් වෙයි, සමහර විට නැතිවෙයි. කොහොම වුනත් අපිට නිලවරණයට මුහුණ දෙන්න සිදු වෙනවා. මගේ කාල සීමාව මැයි, ජුනි වෙනකොට ඉවර වෙනවා. මම තාම හිතලා නැහැ නිලවරණයට ඉදිරිපත් වෙනවද කියලා. එම තීරණය තව ඉදිරියේදී ගන්නට නියමිතයි. කොහොම වුනත් අපිට මේ කාලය තියනවා මෙරට පාපන්දු ක්‍රීඩාව මීළඟ ඉහල තලයට ගෙනියන්න. අපේ ජාතික තලයේ දක්ශතා සලකා බැලීමේදී ඉතා අමාරු කාලයක් තමයි අපිට තිබුනේ. එමනිසාම අපි උත්සාහ කරනවා දේශීය මට්ටමෙන් කල හැකි සියලුම දේවල් නිවැරදිව කරන්න.” අනුර ද සිල්වා මහතා පැවසීය.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට