ආසියානු යොවුන් රග්බි ක්‍රීඩකයන්ගේ කල එලි බැස්ම

1063
Asia Rugby under 19 championships

වයස අවුරුදු 19න් පහල ආසියානු ශූරතා රග්බි තරඟාවලිය එළැඹෙන දෙසැම්බරයේ දී මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී ගියවර ශූරයන් වූ හොංකොං රාජ්‍යය, චීන තායිපේ සහ මැලේසියානු කණ්ඩායම් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවට මත පල වේ. මෙම තරඟාවලිය ආසියානු මහද්වීපයෙන් එළඹන වසරේ ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා වයස අවුරුදු 20න් පහල රග්බි තරඟාවලියට සුදුස්සන් තෝරාගනියි.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මාසයේදි

පසුගිය වසරේ මෙම තරඟාවලිය අපරාජිතව ජය ගැනීමට හොංකොං රාජ්‍යය සමත් විය. ඒ අනුව ඔවුන් පසුගිය වසරේ සිම්බාබ්වේ හිදී පැවැති ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ නමුත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි විය. ඔවුන් ස්පාඤ්ඤය හමුවේ ලකුණු 44-08 ලෙසද, ඇමෙරිකා එක්සත් ජනපදය හමුවේ ලකුණු 33-12 ලෙස ද, නැමීබියාව හමුවේ ලකුණු 70-08 ලෙසද පරාජයට පත් විය.

පසුගිය වර ආසියානු වයස අවුරුදු 19න් පහල රග්බි තරඟාවලියේ ප්‍රථිපල

Asia Rugby U19 Last year Fixtures

ශ්‍රී ලංකාවට මෙහිදී ප්‍රබලතම අභියෝගය එල්ල වන්නේ හොංකොං රාජ්‍යයෙන් බව පැහැදිලිය. එම අභියෝගය නිසි ලෙස ජයග්‍රහණය කිරීමට නම් මනා සැලසුම් සකස් කිරීම, ක්‍රමවත් පුහුණුවීම් වල නිරත වීම අතිශය වැදගත් වේ. ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් ඇති බැවින් ඒ සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය හෝ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ නිලධාරීන් අවධානය යොමු කල යුතුය.

ගියවර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවීමේ කාර්යය පැවරුණේ හිටපු ඉසිපතන රග්බි නායක ඔමල්ක ගුණරත්න හට ය. ඊට පෙර වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ තරඟාවලියේදී හිටපු ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි නායක තරින්ද රත්වත්තේ විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය. මෙහි විශේෂ කරුණ නම් දැන් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ සාමාජිකයන් වීමය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කරන අන්දමට කණ්ඩායමේ නායකත්වය ජ්‍යේෂ්ඨත්වය මත තීරණය කෙරේ. එමනිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම කවුරුන් විසින් සිදු කරයි ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. ඒ සඳහා සුදුසුකම් ලාභීන් ලෙස රාජකීය විද්‍යාලයීය ප්‍රොප් ක්‍රීඩක අයේශ් මධුරංග හා ත්‍රිත්ව විද්‍යාලයීය නායක රාහුල් කරුණතිලක දැක්විය හැකි වන්නේ ඔවුන් පසුගිය වසරේ කණ්ඩායමේ ද සාමාජිකයන් වීම නිසාවෙනි. කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨත්වය මත නායකත්වය තීරණය නොවේ නම් හිටපු ඉසිපතන නායක කුෂාන් ඉඳුනිල් ද සුදුසුකම් ඇත්තෙකි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සතුව වේගවත් සහ දක්ෂතා වලින් සපිරි ක්‍රීඩකයන් රැසක් සිටියි. එය පසුගිය තරඟ සමය දෙස හැරී බැලූ විට හොඳින් ම පැහැදිලි වේ.

කණ්ඩායමේ පුහුණුකාර තනතුරට බොහෝ දුරට නිල්ෆර් ඉබ්‍රහිම් පත් වීමට ඉඩ ඇත. ඔහු මෙම තරඟ සමයේ ඉසිපතන විද්‍යාලය ලීග් ශූරතාව සහ පිලිමලුන් පිටුදැකීමේ ශූරතාව ජයග්‍රහනය කරවීමට පුහුණුකාර ධූරයේ කටයුතු කලේය. ඔහු විසින් 2014 දී ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල අතර එම වසරේ දී ඔහු ඉසිපතනය සත් සාමාජික, ලීග් සහ පිලිමලුන් පිටුදැකීමේ තරඟාවලියද දිනා ගැනීමට මග පෙන්වීය.

මෙම වසරේ තරඟාවලියේ තරඟ කාල සටහනAsia Rugby U19 championships Schedule 2016

ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරඟය සත්කාරක මැලේසියාවට එරෙහිව දෙසැම්බර් 11 වන දින පැවත් වේ. හොංකොං දේශයට එරෙහිව දෙසැම්බර් 14 වන දිනත් චීන තායිපේ කණ්ඩායමට එරෙහිව දෙසැම්බර් 17 වන දිනත් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවු: 18න් පහල සහ 20න් පහල සත් සාමාජික කණ්ඩායම් ඉතිහාසය අලුත් කරමින් මව්බිමට ජයග්‍රහණ රාශියක් අත් කර දුන්න ද සාමජිකයන් 15 දෙනාගේ තරඟ තවමත් ශ්‍රී ලංකාවට මිහිරි අත්දැකීම් ලබා දී නැත. එමනිසා මනා සැලසුම් සකස් කරමින් ක්‍රමවත් ලෙස පුහුණු කිරීම් කිරීම මගින් ඉතිහාසය අලුත් කිරීමට මෙම කණ්ඩායමට ද හැකියාව ඇති වනු නොඅනුමානය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට