ඩයලොග් රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මාසයේදි

1141
Dialog Rugby League 2016/17 will kick off in November

ඩයලොග් රග්බි ලීග් තරඟ මාලාවේ 2016/17 තරඟ සමය නොවැම්බර් මස 4 වන  දින පොලිස් රග්බි කණ්ඩායම සහ නාවික හමුදා රග්බි කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයත් සමඟ ආරම්භ වීමට නියමිතය. මෙම තරඟය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

පසුගිය ලිපි:  දෙවන අදියරේ අනුශූරතාවයත් ශ්‍රී ලංකාවට

පසුගිය වසරේ ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ, තරඟ සමයේ අවසන් ස්ථාන වල සිටින CH & FC පිල සමගත්, හැව්ලොක්ස් කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිවත් නොවැම්බර් මස 5 වන දින තරඟ බිමට පිවිසීමට නියමිතයි. නොවැම්බර් මස 06වැනිදා දියගම දී ප්‍රබල CR & FC කණ්ඩායම යුද හමුදා පිලට එරෙහිව තරඟ වදිනු ඇත.

අදියර දෙකක් යටතේ පැවැත්වෙන තරඟාවලියේ පලමු අදියර දෙසැම්බර් මස 16 වන දින අවසන් වීමට නියමිත ය. සති දෙකක විරාමයකින් අනතුරුව ජනවාරි මස 6 වන දින තරඟ බිමට පිවිසෙන කණ්ඩායම් වල, ලීග් තරඟ මාලාවේ අවසන් තරඟය පෙබරවාරි මස 19 වන දා පැවැත්වෙනු ඇත.

පසුගිය තරඟ සමය මෙන්ම මෙවර ද විදේශීය ක්‍රීඩකයන් නොමැතිව තරඟාවලිය පැවැත්වෙන බැවින් මෙය තරමක් උද්වේගකර බවෙන් අඩු විය හැකි බව විචාරකයන්ගේ මතයයි. ගිය වර ශූරයන් වූ මහනුවර පිලට මෙවර ද තම ස්ථානය තහවුරු කර ගැනීමට ඉතාමත් ඉහල අවස්ථාවක් ඇත. විශේෂයෙන්ම Havelock ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල දනුෂ්ක රන්ජන්, කාංචන රාමනායක (CR & FC ), ජේසන් දිසානායක (CR & FC ), භානුක දිසානායක ( Havelocks ) යන ක්‍රීඩකයන් දැනටම තම පිලට එක් කරගැනීමට ඔවුන් සමත්ව ඇත. එමෙන් ම අත්දැකීම් බහුල නායක Scrum Half ක්‍රීඩක රොෂාන් වීරරත්නගේ  කණ්ඩායම මෙහයවීමේ හැකියාව ද මෙයින් උරගා බැලෙනු ඇත.

ගිය වර අනුශූරයන් වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙවර මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සූදානම් වෙමින් සිටියි. ඔවුන්ගේ පුහුණුකරු තනතුරට ටුඅල්ගීස් ටවීටා (ලාගා) වෙනුවට රොනී ඉබ්‍රහිම් පත් ව ඇත. ජවසම්පන්න ප්‍රොප් ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන මෙවර කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. එමෙන්ම ගිය වර වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්ථා කල ප්‍රසාත් මදුසංක මෙන්ම ශාරො ප්‍රනාන්දු, නිරොෂාන් ප්‍රනාන්දු , චාමර දාබරේ යන ප්‍රවීන ක්‍රීඩකයන් මෙන්ම නිෂොන් පෙරේරා, කෙවින් ඩික්සන්, ලසිඳු ඉශාන් වයස අවුරුදු 20න් පහල කොටසේ තරඟ වල ලබා ගත් අත්දැකීම් ද මෙවර හැව්ලොක් කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වනු ඇත.

ශේන් සමන්දප්පෙරුම මෙහෙයවන CR & FC  කණ්ඩායම ද මෙවර අනෙක් කණ්ඩායම් වලට දැඩි අභියෝගයක් වනු නොඅනුමානය. ඔවුන්ගේ පුහුණුකාර තනතුර ස්කොට්ලන්ත ජාතික බෙන් මැක්ඩග්ල් විසින් දරයි. විශේෂයෙන් නාවික හමුදා පිලේ සිට ඔමල්ක ගුණරත්නගේ ආගමනය ද ඔවුනට මහත් අස්වැසිල්ලක් වනු ඇත. අශාන් ද කොස්තා, සසංක ආරියරත්න, ඉශාන් නූර් සහ රීසා මුබාරක් යන ප්‍රවීන ක්‍රීඩකයන් මෙන්ම තරින්ද රත්වත්තේ සහ කවිඳු පෙරේරා ද CR & FC පිලට වැදගත් ක්‍රීඩකයන් වනු ඇත.

ගිය වසරේ සිව්වන ස්ථානයට පත්වූ නාවික හමුදා කණ්ඩායම මෙවර තම අහිමි වූ ගෞරවය යලි ලබා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් මෙවර මෝතිලාල් ජයතිලකගේ නායකත්වය යටතේ තරඟ බිමට පිවිසෙනු ඇත. විශේෂයෙන්ම ගිය වර ලකුණු 146 වාර්තා කරමින් තරඟ සමයේ වැඩිම ලකුණු ලාභියා වූ ඔවුනගේ Full back ක්‍රීඩක තිලිණ වීරසිංහ ඉතාමත් වැදගත් කොටසක් ක්‍රීඩා කරනු ඇති. එමෙන්ම දිනූෂ චතුරංග, ලී කීගල්, ගෙරත් පෙරේරා, චානක චන්දිමාල් සහ නිවංක ප්‍රසාද් අත්දැකීම් බහුල ප්‍රවීන ක්‍රීඩකයන් වන අතර ඔවුන් මෙවර නාවික හමුදා පිල ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයන් වේ.

ඉතාමත් ඉහල දස්කම් සහිත ක්‍රීඩකයන් රැසක් සිටියද ගියවර තරඟ සටහනේ ඉහල ස්ථානයක් අත් කර ගැනීමට පොලිස් පිලට නොහැකි විය. ඉකුත් වසරේ සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් නැවත තරඟ බිමේ පෙරලියක් ඇති කිරීමට සුදත් සම්පත්ගේ නායකත්වයෙන් තරඟ වදින පොලිස් පිල සූදානම් ව සිටී. මුශින් ෆලීල්, අචල පෙරේරා, රදීශ සෙනෙවිරත්න සහ මොහොමඩ් අබ්සාල් ඒ සඳහා ඔවුන් සතු ප්‍රබල අවි බව සඳහන් කල හැක.

පසුගිය තරඟ සමයට ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තද එය පවත්වා ගැනීමට නොහැකි වීම යුද හමුදා පිලට අවාසිදායක විය. ඔවුන්ගේ ප්‍රබලම අවිය ලෙස පසුගිය වසරේ වැඩිම ලකුණු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයට පත් වූ ගයාන් සාලින්ද දැක්විය හැක. ඔවුනගේ පුහුණුකාර ධූරය ෆිජි ජාතික ෆෙවෙරි වෙරබුලා විසින් හොබවයි.

ගුවන් හමුදා හ CH & FC කණ්ඩායම් ද ගිය වසරේ ලද අමිහිරි අත්දැකීම් වලින් මිදී යලිත් පෙරලියක් ඇති කිරීමට උත්සාහ දරයි. විශේෂයෙන්  ගුවන් හමුදාවේ නුවන් පෙරේරා එයට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු වනු ඇති. එ්ත් සමගම පැවැත්වෙමින් පවතින ක්‍රිකට් තරඟ සමය හේතුවෙන් CH & FC පිලට විකල්ප සත්කාරක ක්‍රීඩාංගණයක් ලබා දීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සූදානම් වේ. එය බොහෝ දුරට කොළඹ පැරණි තුරඟ තරඟ පිටිය හෝ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටිය වනු ඇති.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට